ඇඳිරිනීතිය ඉවත් කළ වහාම අඩුආදායම් ලාභීන්ට රු.500 සහ 1,000 අත්‍යවශ්‍ය ආහාර මලු

ඇඳිරිනීතිය ඉවත් කළ වහාම අඩුආදායම් ලාභීන්ට රු.500 සහ 1,000 අත්‍යවශ්‍ය ආහාර මලු

COVID-19 වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වෙත දැනට තවත් දිනයක් දක්වා දික් කර ඇති ඇඳිරි නීතිය අනිද්දා පෙරවරු 6ට ඉවත් කිරීමත් සමගම අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා සූදානමින් සිටින ජනතාවට ඒ සඳහා පහසුකම් සලසා ඇතැයි සමූපකාර සමිති සහ සතොස ආයතනය පවසයි.

මෙම දිස්ත්‍රික්ක අතරින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ වැඩිම COVID-19 රෝගීන් පිරිසක් ව්‍යාප්තවී තිබීම නිසා මෙම වැඩපිළිවෙලෙහි ප්‍රමුතාවක් එම දිස්ත්‍රික්කයට ලබා දීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මූලිකත්වය ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ සඳහා වන සාකච්ඡාවක්ද ඊයේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වී තිබේ.

ඊයේ රජය ගත් තීරණයකට අනුව මේ වනවිට සමස්ත දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට පෙරවරු 6.00ට ඉවත් කළද කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල එය ලබන අඟහරුවාදා පෙරවරු 6.00 දක්වා දික් කෙරිණි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක විවිධ සේවා සමූපාකාර සමිති 17ක් හරහා ඒවා යටතේ පවතින ප්‍රාදේශික තුළින් විශේෂයෙන්ම සමෘද්ධිලාභී ජනතාවට රුපියල් 1,000 සහ 500 වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ලබා දීමට මෙහිදී තීරණය කර ඇත.

සහල්, පරිප්පු, සැමන්, අල, ධාන්‍ය වර්ග, සීනි ඇතුළත් මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ මලු සමූපාකාර ප්‍රාදේශික හරහාත් සමූපාකාර  ප්‍රාදේශික නොමැති ගම්මානවල ජංගම රථ මගිනුත් ලබා දීමට කටයුතු කෙරී ඇත.

මෙහිදී අදාළ කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුවන බවත්, පොලිසිය මෙම භාණ්ඩ ලබා දෙන වේලාව පිළිබඳව ගම්වාසීන් දැනුවත් කරන බවත්, ග්‍රාමනිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා පළාත් පාලන නියෝජිතයන් එය සම්බන්ධීකරණය කරන බවත් පැවසෙයි.

ඒ අනුව COVID-19 තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීමට නම්, ඇඳිරි නීතිය ඉවත් කළ වහාම ජනතාව අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා එක්රැස්වීම පාලනය කරගත යුතු බවත් ඒ සඳහා රජය මෙලෙස මැදිහත් වූ බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කර තිබේ.

COVID-19 වසංගතය අතරතුරදී කලබලයකින් තොරව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල් නියාමන ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පසුව දිවයිනටම හඳුන්වාදීම අපේක්ෂාව වී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ සතොස නියෝජිතයා, මේ වනවිට සිය ගබඩා තුළ අත්‍යවශ්‍ය ආහාර තොග අවශ්‍ය තරම් ඇති බව පවසා ඇත. ඒ යටතේ පරිප්පු ටොන් 1400ක්, සැමන් ටින් මිලියනයක්, සහල්, සීනි අවශ්‍ය තරම් ඇති බවයි. සතොස ආයතනයද සිය ප්‍රාදේශික හා ජංගම රථ මගින් රුපියල් 500 හා රුපියල් 1000 අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ජනතාවට ලබා දීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇතැයිද ඔහු මෙහිදී පවසා ඇත.

Visits: 55