COVID-19 නිසා බෝයිං ලාභාංශ ගෙවීම අත්හිටුවීමට තීරණය කරයි

COVID-19 නිසා බෝයිං සමාගම ලාභාංශ ගෙවීම අත්හිටුවීමට තීරණය කරයි

එක්සත් ජනපදයේ පිහිටි ලොව සුප්‍රසිද්ධ ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන බෝයිං සමාගම මේ වසරේදී සිය ලාභාංශ ගෙවීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් පවසයි. එසේම එහි ප්‍රධාන විධායක නිලධාරී ඩේවි කැල්හොයුන්ගේ සහ සභාපති ලැරී කෙල්නර් වෙත මේ වසර පුරාවටම වැටුප් නොගෙවීමටත් තීරණය කෙරී ඇත.

COVID-19 වසංගත ව්‍යාප්තිය නිසා සිය සමාගම මුහුණ දී ඇති දරුණු ආර්ථික අර්බුදය ඊට හේතුව බව සමාගම පවසා තිබේ.

එසේම පසුගිය වසරේ සිට සිය බෝයිං 737 මැක්ස් මාදිලියේ ගුවන් යානා ගොබස්සවා තිබීම හේතුවෙන් ඇතිවූ අර්බුදකාරී තත්ත්වයද මේ අවස්ථාව උදා කිරීම සඳහා මග පෑදූ බවට බෝයිං සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

බෝයිං සමාගමට අමතරව එක්සත් ජනපදයේ තවත් ගුවන් සේවා සමාගම් රැසක්ම මේ වසරේදී සිය කොටස්කරුවන් වෙත ලාභාංශ ගෙවීම නැවැත්වීමට තීරණය කර ඇත. COVID-19 වසංගතය හේතුවෙන් ලොව පුරා සංචාරක කර්මාන්තයේ කඩා වැටීම නිසා ගුවන් ගමන් සීමා වීම හෝ අත්හිටුවීම හේතුවෙන් එම කර්මාන්ත වෙත බලපා ඇති අයහපත් තත්ත්වය ඊට හේතු වී තිබේ.

ඒ අනුව බෝයිං සමාගමද ඇතුළුව අනෙකුත් ගුවන් සමාගම් මේ වනවිට එක්සත් ජනපද රජය මගින් ලබා දීමට සැලසුම් කර ඇති සහන පැකේජය බලාපොරොත්තුව සිටින බව වාර්තා වෙයි. ඒ අතරින් බෝයිං සමාගම අවම වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 60ක ණය සහනයක් අපේක්ෂා කර තිබේ.

පළමු අවස්ථාවේදී මෙම ණය සහන පැකේජය එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනයක් ලෙස ලබා දීමට යෝජනා වී තිබුණද මේ වනවිට එය ඩොලර් ට්‍රිලියන 2ක් දක්වා වැඩි කර තිබේ.

Visits: 35