ඇඳිරි නීතිය ඉවත් කළත් හෙට බැංකු විවෘත නොකිරීමේ තීරණයක්

ඇඳිරි නීතිය ඉවත් කළත් හෙට බැංකු විවෘත නොකිරීමේ තීරණයක්

හෙට (මාර්තු 23) පෙරවරු 6.00ට කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක තුන හැරෙන්නට අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කළද එම දිස්ත්‍රික්කවල පිහිටි බැංකු ශාඛා විවෘත නොකිරීමට තීරණය කළ බව ලංකා බැංකු සේවක සංගමය නිවේදනයක් මගින් පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමක් ලෙස සිය සංගමය විසින් ශ්‍රී ලංකා බැංකු සංගමය සහ සියලු බැංකු පාලනාධිකාරීන් වෙත දැනුවත් කොට ඇතැයි එම සංගමය සඳහන් කරයි.

එහෙත් මුදල් අමාත්‍යාංශය කළ නියෝගයකට අනුව හෙට දිනයේදී රජයේ සේවක වැටුප් ගෙවීමට නියමිතව ඇති බැවින් විශේෂයෙන්ම රජයේ බැංකු සුළුවේලාවකට හෝ විවෘත කර තැබීමට අවශ්‍ය බව වගකිවයුතු අංශ සිය සංගමය වෙතින් ඉල්ලා සිටි බවත් එම සංගමය පවසයි.

ඒ අනුව කිසියම් බැංකුවක්, සිය බැංකු ශාඛා විවෘත කරන්නේ නම් තමන් සඳහන් කරන ක්‍රමවේද අනුගමනය කරන මෙන් දන්වා සිටින බවත් ලංකා බැංකු සේවක සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

එහිදී මුදල් ගෙවීම් සඳහා පමණක් කටයුතු කළ යුතු අතර ගනුදෙනුකාර භවතුන් නිසි සෞඛ්‍යාරක්ෂක සැකසුම් අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු බවත්, වරකට ගනුදෙනුකරුවන් 5-10 දක්වා සීමිත ප්‍රමාණයක් ශාඛා පරිශ්‍රයට ඇතුළත් කර ගැනීමට පියවර ගත යුතු බවත්, ඒ අනුව සුදුසු පරිදි උපරිම ආරක්ෂාවක් සපයීමට ක්‍රියා කළ යුතු බවත් එහි සඳහන් වෙයි.

එසේම කිසියම් බැංකුවක් ශාකා විවෘත නොකරන්නේ නම් ඒවායේ ස්වංයක්‍රීය බැංකු සේවා අඛණ්ඩව පවත්වාගනිමින් අවශ්‍ය සේවා සැපයීමට කටයුතු කළ යුතු බව එහි වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මේ අතර ඉදිරි දිනවලදී ඇඳිරි නීතිය  ඉවත් කරන ආකාරය අනුව සේවය සැපයිය යුතු ආකාරය පිළිබඳව යෝජනාද තම සංගමය විසින් වගකිවයුතු අංශ වෙත යොමු කර ඇති බවත්, එහිදී සාමාජික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිම තීන්දු තීරණ ගන්නා බවට අවධාරණය කරන බවත් ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

ලංකා බැංකු සේවක සංගමය පසුගිය සතියේදී ගත් තීරණයකට අනුව රට තුළ මෙම COVID-19 වසංගත තත්ත්වය පහව යනතුරුම සතියේ දිනවල පැය 4ක කාලයක් පමණක් බැංකු ගනුදෙනු සඳහා විවෘත කර තැබීමටත්, සති අන්ත බැංකු කටයුතු අත්හිටුවීමටත් පියවර ගෙන තිබේ.

කොළඹ, ගම්පහ සහ පුත්තලම හැර රටේ අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ඉවත් කෙරෙන මෙම ඇදිරි නීතිය යළිත් පස්වරු 2.00 සිට ක්‍රියාත්මක වන බවත් නිවේදනය කෙරී ඇත. කොළඹ, ගම්පහ සහ පුත්තලමේ ඇදිරි නීතිය ඉවත් කෙරෙන්නේ අගහරුවාදා පෙරවරු 6.00ටයි.

Visits: 49