හැකි නම් බැංකු ශාඛා ‍හෙට පැය 2ක් විවෘත කරන්න – මහ බැංකුව ඉල්ලයි

හැකි නම් බැංකු ශාඛා ‍හෙට පැය 2ක් විවෘත කරන්න – මහ බැංකුව ඉල්ලයි

2020 මාර්තු 23 වැනි දින එනම් හෙට දින පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ශාඛා අවම වශයෙන් පැය දෙකක් හෝ විවෘත කර තබන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ බැංකුවලින් ඉල්ලා සිටියි.

මහජනතාවට අත්‍යවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා මෙලෙස බැංකු ශාඛා විවෘත කිරීම වැදගත් බව මහ බැංකුව සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් හැකි සෑම විටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා ඔන්ලයින් ක්‍රමවේද භාවිත කරන ලෙසත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාව වෙත දන්වා සිටියි.

එසේම එවැනි සේවා ලබා දීමේදීත්, සේවා ලබා ගැනීමේදීත් අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස බැංකු ආයතනවලට මෙන්ම මහජනතාවටද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනය මගින් උපදෙස් ලබා දී සිටියි.

කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක  හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක වෙත හෙට පෙරවරු 6.00ට ඇඳිරිනීතිය ඉවත් කරයි. එසේම එදිනම පස්වරු 2.00ට යළිත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත් මාර්තු 22 වැනිදා පස්වරු 7.30 වන විටත් මෙරට කිසිදු වානිජ බැංකුවක් හෝ විශේෂිත බැංකුවක් හෝ හෙට දිනයේදී තමන් බැංකු ශාඛා විවෘත කරන බවට කිසිදු සටහනක් ප්‍රසිද්ධියට පත් කර නොතිබුණි.

Visits: 21