කොටස් වෙළෙඳ පොළ හෙටත් නෑ… අනිද්දත් නෑ

කොටස් වෙළෙඳ පොළ හෙටත් නෑ… අනිද්දත් නෑ!

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙට (මාර්තු 23) සහ අනිද්දා (මාර්තු 24) යන දෙදින තුළ විවෘත නොවන බව නිවේදනයක් මගින් සඳහන් කරයි.

රට තුළ COVID-19 වසංගත තත්ත්වය පාලනය සඳහා හෙට දිනය තුළදීත් කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකව පවතින ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසා සිටියි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අවසන්වරට සිදුවුණු පසුගිය සිකුරාදා දිනය (මාර්තු 20) එතෙක් මෙතෙක් එක් දිනයක් තුළදී කොටස් වෙළෙඳ පොළ දරුණු කඩා වැටීමකට ලක් වූ දිනය බවටත් ඉතිහාසයට එක්ව තිබේ.

එහිදී ගනුදෙන් ආරම්භ කර පැය කිහිපයකින් අනතුරුව හදිසියේම දහවල් 12 වන විට කොටස් වෙළෙඳ පොළ වසා දමන විට සමස්ත කොටස් මිල දර්ශකය කොටස් ඒකක 303.10 කින් පහත බැසි අතර, එය ඊට පෙර දිනට සාපේක්ෂව 6.22% කින්ද ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 258.55 කින් පහත බැසි අතර එය ඊට පෙර දිනයට සාපේක්ෂව 11.72% කින්ද පහත වැටී තිබුණි.

රට තුළ COVID-19 වසංගත තත්ත්වයක් පවතිද්දී ආර්ථිකය දැඩි අස්ථාවර තත්ත්වයක පවතින මොහොතක කොටස් වෙළෙඳ පොළ විවෘත කිරීමෙන් මෙවැනි පසුබැසීමක් එහි සිදුවන බවට කොටස් වෙළෙඳ පොළ තැරැව්කාර සමාගම් මීට පෙරද පවසා තිබුණි. ඒ අනුව මෙම දින කිහිපය ගත වන තෙක් කොටස් වෙළෙඳ පොළ වසා දැමීම වඩාත් සුදුසු බව ඔවුන්ගේ අදහස විය.

Visits: 89