විදෙස් සංචාරකයෝ 30,000කට ආසන්න පිරිසක් තවමත් මෙරට

විදෙස් සංචාරකයෝ 30,000කට ආසන්න පිරිසක් තවමත් මෙරට

විදෙස් සංචාරකයෝ 29,673 ක ප්‍රමාණයක් ඊයේ දිනය වනවිට මෙරට තුළ රැඳී සිටින බව සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් දිනපතා ලැබෙන දත්ත ඉදිරිපත් කරමින් එම ආයතන මේ පිළිබඳව කරුණු අනාවරණය කරයි.

මේ අතරින් වැඩිම පිරිස රුසියානුවන් වන අතර එම සංඛ්‍යාව 4,930 කි. එසේම නෙදර්ලන්ත ජාතිකයන් 3,839ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 3,220 ක්, ඉන්දියානුවන් 2,650ක්, චීන ජාතිකයන් 2,535ක්, ප්‍රංශ ජාතිකයන් 1,437ක් සහ කැනඩා ජාතිකයන් 1,330ක්ද ඒ අතර වෙයි.

මීට අමතරව තවත් රාජ්‍යයන් 136ක පුරවැසිභාවය සහිත පුද්ගලයන්  9,732 දෙනෙකුද ඊයේ දිනය වනවිට මෙරට රැඳී සිටි බව එම ලැයිස්තුවේ සඳහන් වෙයි.

මෙරට රැඳී සිටින මෙම පිරිසට අවශ්‍ය පහසුකම් ලබා දීම වෙනුවෙන් දැනටමත් සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධක කාර්යාංශය එක්ව ඊයේ දිනයේ සිට 1912 හදිසි දුරකතන අංකයක්ද ලබා දී තිබේ.   

ශ්‍රී ලංකා සංචාරක මෙහෙයුම් සංගමය (SLAITO), ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය එක්ව මෙම හදිසි ඇමතුම් සේවාව පවත්වාගෙන යයි. පැය 24 පුරා මෙම හදිසි දුරකතන අංකය ක්‍රියාත්මක වන බව එම ආයතන දෙක පවසයි.

මේ සම්බන්ධයෙන් පිහිටුවා ඇති පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය අංක 80, ගාලු පාර, කොළඹ 03 ලිපිනයෙහි පිහිටි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ ගොඩනැගිල්ලේ පිහිටුවා ඇත.

එහිදී මෙම සංචාරකයන්ගේ ප්‍රවාහන ගැටලු, හෝටල් නවාතැන් පහසුකම් මෙන්ම මෙම වෛරස ව්‍යාප්තිය අවස්ථාවේදී ඔවුන්ට ලබා ගත යුතු ඕනෑම තොරතුරක් ලබාදීම වෙනුවෙන් මෙම හදිසි දුරකතන අංකය ක්‍රියාත්මක බව සඳහන් වෙයි.

එසේම සංචාරක සේවා සම්බන්ධ විමසීම් සඳහා 011 242 6900 හරහාද තොරතුරු ලබා ගත හැකි බවත් සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙරට සිටින මෙම සංචාරකයන් සියලු දෙනාම COVID-19 ආසාදිතයන් විය නොහැකි බවත්, කිසිදු අවස්ථාවක ඔවුන් අපහසුතාවයට පත් කිරීම සඳහා මෙරට ජනතාව ක්‍රියා නොකළ යුතු බවත් සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 117