දිලිත්ගේ – වරුණිගේ ‘සිට්‍රස් වස්කඩුව’ COVID-19 නිරෝධායනයට

දිලිත්ගේ – වරුණිගේ ‘සිට්‍රස් වස්කඩුව’ COVID-19 නිරෝධායනයට

මෙරට තරු පන්තියේ හෝටලයක් වන සිට්‍රස් සමූහයට අයත් සිට්‍රස් ලෙෂර්හි ‘සිට්‍රස් වස්කඩුව’ හෝටලය (වස්කඩුව බීච් රිසෝට් පීඑල්සී) COVID-19 වසංගතය ආසාදිත පුද්ගලයන් හා සම්බන්ධතා පැවැත් වූ පිරිස් නිරෝධායනය සඳහා අවශ්‍ය වුවහොත් ලබා දීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය කැමැත්ත පළ කර තිබෙන බව වාර්තා වෙයි.

සිට්‍රස් ගෘප් (Citrus Group) සමාගමට අයත් කාමර 150 කින් සමන්විත වස්කඩුව බීච් රිසෝට් පීඑල්සීහි වර්තමාන හිමිකරුවන් වන්නේ මෙරට මුල් පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකු වන දෙරණ මාධ්‍ය ජාලයේ සමහිමිකරුවන් වන දිලිත් ජයවීර සහ වරුණි අමුණුගම ප්‍රනාන්දු දෙපළයි. කළුතර දිස්ත්‍රික්කයේ මුහුදු තීරයට මුහුණලා මෙය පිහිටුවා තිබේ.

ඒ අනුව, ඉදිරියේදී මෙම COVID-19 වසංගතය ආසාදිතයන් හා ගැටුණු බවට සැක කෙරෙන පිරිස් නිරෝධායනයට ලක් කිරිම සඳහා අවශ්‍ය වුවහොත් තාවකාලික පදනමක් මත මෙම හෝටලය COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා පිහිටුවා ඇති ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත භාරදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය මෙහිදී යෝජනා කර ඇත.

දැනටමත් එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ඔවුන් මේ පිළිබඳව කරුණු දක්වා ඇත. එහෙත් සිට්‍රස් සමූහයට අයත් සිට්‍රස් ලෙෂර්හි හෝටල් අතරින් එකක් වන මෙම ‘සිට්‍රස් වස්කඩුව බීච් රිසෝට්’ හෝටලය කොටස් වෙළෙඳ පොළ ලැයිස‍්තු ගත සමාගමක් නිසා ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීම ලබන සඳුදා දිනයේදී යළි කොටස් වෙළෙඳ පොළ ඇරඹීමෙන් අනතුරුව ගැනීමටද තීරණය කෙරී තිබේ.

දැනටමත් මෙම COVID-19 වසංගතය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තය දැඩි ලෙස හානියට පත්ව ඇති බව පෙන්වා දෙන එම අධ්‍යක්ෂ මණ්ඩලය, මෙම වසංගත තත්ත්වය පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට කෙසේ හෝ දායකවීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් පවසා සිටියි.

ප්‍රේමා කුරේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් වස්කඩුව බීච් රිසෝට් පීඑල්සී අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස දිලිත් ජයවීර, වරුණි අමුණුගම ප්‍රනාන්දු,  සර්වා අමරසේකර (ට්‍රයිඇඩ් ගෘප්හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී), රජින්ද්‍ර සෙනෙවිරත්න (Reefcomber Hotel ලෙස 1980 දශකයේදී හික්කඩුව බීච් රිසෝට් හෝටලය ඇරඹූ සෙනෙවිරත්න පවුලේ සාමාජිකයෙකි, අද ඔහු කොරෝනා ටී ස්ටෝර්ස්හි කළමනාකාර අධ්‍යක්ෂවරයාය), මනෝජ් පිළිමතලව්වේ සහ සුරේෂ් ඩි මෙල් යන මහත්ම මහත්මීන් කටයුතු කරයි.

සිට්‍රස් සමූහයට අයත් සිට්‍රස් ලෙෂර් යටතේ සිට්‍රස් වස්කඩුවට අමතරව සිට්‍රස් හික්කඩුව සහ ද ස්ටුවර්ට් බයි සිට්‍රස් යන හෝටල්ද පවතී. ඒ අතරින් ද ස්ටුවර්ට් බයි සිට්‍රස් යනු දිලිත් ජයවීර මහතාගේ හිමිකාරීත්වයෙන් යුත් ද ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම යටතේ පවතින්නකි.

Visits: 254