UL504 යානයේ එන මගීන්ට විශේෂ නිවේදනයක්

UL504 යානයේ එන මගීන්ට විශේෂ නිවේදනයක්

ලන්ඩන් නුවර සිට කොළඹ දක්වා හෙට දිනයේදී මෙරටට ළගාවීමට නියමිත UL504 දරණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයේ පැමිණිය හැකි මගීන් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන්නට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ.

ඒ අනුව මෙම ගුවන් යානය හරහා මෙරටට පැමිණිය හැක්කේ එක්සත් රාජධානිය තුළ තාවකාලිකව රැඳී සිටින සහ ශ්‍රී ලංකාව වෙත ආපසු පැමිණීමට බලාපොරොත්තුවන මගීන් පමණක් බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

එහිදී ද්විත්ව පුරවැසි ගුවන් ගමන් බලපත්‍ර හෝ එක්සත් රාජධානි/යුරෝපා සංගම් ගුවන් ගමන් බලපත්‍ර හිමි මගීන් ඇතුළුව ශ්‍රී ලංකාව වෙත නේවාසික වීසා සහ අනෙකුත් ඕනෑම මාදිලියක වීසා සහිත පිරිස් වෙත මෙම ගුවන් යානයට ගොඩවිය නොහැකි බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

මෙවැනි වීසා බලපත්‍ර පසුගිය මාර්තු 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් තාවකාලිකව අවලංගු කර තිබීම ඊට හේතුව වී තිබේ.

මේ අතර හෙට දිනයේදී මෙරටට ළගා වෙන මෙම UL504 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් පැමිණෙන සියලුම මගීන් දැනට රජය මගින් සිදු කරන දින 14ක නිරෝධායන වැඩසටහන වෙත සම්බන්ධ  කෙරෙන බවත් ගුවන් සමාගම අවධාරණය කර සිටියි.

ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොළින් එරට වේලාවෙන් මාර්තු 18 වැනිදා රාත්‍රී 8.40ට පිටත්වන මෙම UL504 දරණ ගුවන් යානය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.40ට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වීමට නියමිතව තිබේ.

Visits: 44