කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙට සිට යළි වැඩ

කොළඹ කොටස් වෙළෙඳ පොළ හෙට සිට යළි වැඩ

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු හෙට (2020 මාර්තු 19 වැනි බ්‍රහස්පතින්දා) යළි ආරම්භ කෙරෙන බව කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් සඳහන් කරයි.

පසුගිය සඳුදා (16) දිනයද ඇතුළත්ව දින තුනක (16,17 සහ 18) කාලයක් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොකිරීමෙන් අනතුරුව, එය හෙට දිනයේදී මෙලෙස විවෘත වීමට නියමිතව තිබේ.

එහිදී පෙරවරු 9.00 සිට 9.30 දක්වා කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු විවෘත කිරීමට පෙර සැසියක්ද පැවැත්වෙන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි. අනතුරුව 9.30ට සුපුරුදු පරිදි සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කිරීමට නියමිතව ඇත.

එසේම හෙට පස්වරු 2.30 දක්වා සුපුරුදු පරිද්දෙන්ම ගනුදෙනු සිදු වෙන බවත් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

රට තුළ COVID-19  වෛරසය ව්‍යාප්තියත් සමගම රජය ලබාදුන් රජයේ නිවාඩුව යටතේ පසුගිය 16 වැනිදා ද, පසුව ලබා දුන් විශේෂිත නිවාඩුව යටතේ ඉදිරි දින දෙකක කාලයද කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු සිදු නොකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබුණි.

එහිදී දැනට වෛරස ව්‍යාප්තිය නිසා සිදුව ඇති මහජන කැලඹීම් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු වෙත අනිසි බලපෑම් එල්ල කරාවි යන අදහසද මෙම තීරණය පිටුපස පැවැති අදහසක් විය.

කෙසේ වෙතත් හෙට දිනයේදී යළි කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ වුවද ජනතාව ඊට එතරම් උනන්දුවක් නොදක්වනු ඇති බව ඒ පිළිබඳ අවධානය යොමු කරන පිරිස් පවසයි. විශේෂයෙන්ම කොටස් වෙළෙඳ පොළ කොටස් තැරුව්කරුවන් පවා මෙම දින කිහිපය කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නවතා තැබීමට ගත් තීරණයට සිය කැමැත්තද ප්‍රකාශ කර තිබුණි.

පසුගිය සතියේදීද දින තුනක් (10,12,13) කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කර මොහොතකින් එහි ගනුදෙනු අත්හිටුවීමටද කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත සිදු විය. 09 වැනිදා පොහොය දිනය වූ අතර ගනුදෙනු කිසිදු බාධාවකින් තොරව සිදු වූයේ 11 වැනිදා පමණකි.

Visits: 87