කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අදත් නැහැ

කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අදත් නැහැ

කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු දින තුනකට පසුව අද (19) දිනයේදී යළි ආරම්භ කිරීමට නියමිතව තිබුණද අවසන් මොහොතේදී ගනු ලැබූ තීරණයක් හේතුවෙන් එය එසේ සිදු නොවන බව කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනයක් මගින් පවසයි.

ඒ අනුව 2020 මාර්තු 19 වැනි බ්‍රහස්පතින්දා දිනයත් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙස සැලකෙන බව එහි සඳහන්ව තිබේ. 

විශේෂයෙන්ම COVID-19 වෛරසය තවදුරටත් රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ජනතාව ඒකරාශීවීම අවම කිරීමේ අරමුණින් රජය ලබා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සලකා බලා මෙම තීරණය ගත් බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි.

කෙසේ වෙතත්  ඊයේ සන්ධ්‍යාවේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ, ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේද උපදෙස් අනුව අද දිනයේදී කොටස් වෙළෙඳ පොළ කටයුතු ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබුණි. ඊට අදාළ නිවේදනයද ඔවුන් විසින් රාත්‍රියේදී ප්‍රසිද්ධියට පත් කරන ලදි.

කෙසේ වෙතත් මධ්‍යම රාත්‍රියට ආසන්න වෙද්දී එම තීරණය වෙනස් කරමින් යළිත් මෙම නව නිවේදනය ප්‍රකාශයට පත් කරන්නට කොළඹ කොටස් වෙළෙද පොළ කටයුතු යොදා තිබේ.

ඒ අනුව මෙම සතියේ මුල් දින හතරම කොළඹ කොටස් වෙළෙඳ පොළ වසා දමා ඇති අතර, හෙට දිනයේදීත් එය ගනුදෙනු සඳහා විවෘත කිරිමේ අවිනිශ්චිතතාවක් මතුව තිබේ. එහෙත් රටෙහි පවතින තත්ත්වය හමුවේ කොටස් වෙළෙඳ පොළ විවෘතව නොතිබීම යහපත් අවස්ථාවක් බව කොටස් තැරැව්කරුවන්ගේද අදහස වී ඇත.

Visits: 60