COVID-19 පරීක්ෂාවට ආසිරි රෝහලට තවම අවසර නැහැ

COVID-19 පරීක්ෂාවට ආසිරි රෝහලට තවම අවසර නැහැ

යම් තැනැත්තෙකුට නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම් සඳහා දැනට අවස්ථාව ලබා දී ඇත්තේ රජය යටතේ ක්‍රියාත්මක රෝහල්හි විද්‍යාගාර තුළ පමණක් බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීද මේ කරුණු අවධාරණය කළේය.

ඒ අනුව COVID-19  සඳහා වන PCR පරීක්ෂාව සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට අමතරව මෙතෙක් අවසරය ලබා දී  ඇත්තේ මහනුවර ජාතික රෝහලේ, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ අනුරාධපුරය ශික්ෂණ රෝහලේ පිහිටි වෛරසවිද්‍යා පිළිබඳ විද්‍යාගාර සඳහා පමණක් බව ඔහු අවධාරණය කරයි. 

එහිදී කිසිදු පෞද්ගලික රෝහලක් වෙත තවමත් මෙම අවසරය ලබා දී නොමැති බවත්, ඊට හේතු සාධක රැසක්ම පවතින බවත් අනිල් ජාසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

“දුප්පත් මිනිස්සු නෙමෙයි මේ පෞද්ගලික රෝහල් වෙත යන්නේ පොහොසතුන්. අපි දැනුත් කියන්නේ තමන්ට මේ COVID-19 ආසාදනය වී ඇති බවට සැකයක් තියෙනවා නම් දුප්පත්ද – පොහොසත්ද බලන්නේ නැතිව රජයේ රෝහල් පද්ධතිය වෙත එන්න කියලයි. ඒ නිසා තමයි මා  විසින් එම අවස්ථාව පෞද්ගලික රෝහල් වෙත තහනම් කර තිබෙන්නේ. එසේ තිබියදීත් මෙම රෝහල් එම පරීක්ෂණ සිදු කරනවා.” 

දැනට මෙරට තුළ COVID-19  සඳහා වන PCR පරීක්ෂාව සඳහා තමන්ට හැකියාව ඇති බවට සොෆ්ට්ලොජික් සමූහයට අයත් ආසිරි හෙල්ත් පෞද්ගලික සමාගමේ ආසිරි සර්ජිකල් රෝහල විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය කෙරෙන පරීක්ෂණ කට්ටලද මේ වනවිට බ්‍රිතාන්‍යයෙන් ආනයනය කර ඇති බවත්, එම පරීක්ෂණ සියල්ලම ගුණාත්මක බවට තහවුරු කළ හැකි බවත් ඔවුන් ප්‍රචාරය කරමින් සිටියි. 

එහිදී ආසිරි රෝහල් සමූහයේ විද්‍යාගාර සේවා අංශයේ අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව ඔවුන් පසුගියදා නිකුත් කළ මිල සටහනකට අනුව මෙම පරීක්ෂාවක් සඳහා අය කෙරෙන සම්පූර්ණ ගාස්තුව පිළිබඳව සටහන් වී තිබුණි. ඒ අනුව අවස්ථා තුනක් (DNA extraction, cDNA preparation, RT PCR ලෙස සිදු කරන මෙම PCR පරීක්ෂාව සඳහා මූලික අය කිරීම රුපියල් 12,299ක් බවත් එහි සඳහන් වී තිබේ.

මෙහිදී අදාළ සාම්පල එකතු කිරීමේ නිරත සිය කාර්ය මණ්ඩලය අංගසම්පූර්ණ ආරක්ෂක ඇඳුම් ඇඳ සිටින බවත්, එම ඇඳුම් පවා එක් සාම්පල එකතු කිරීමකට පසුව විනාශ කිරීමට සිදුවන බවත් ආසිරි රෝහල සඳහන් කරයි. ඒ අනුව එම ඇඳුම සඳහා වන අය කිරීමක්ද මෙම පරීක්ෂාවට එක් කෙරේ. මීට අමතරව නිවසට පැමිණ සාම්පල එකතු කිරිමක් සිදු කරන්නේ නම් ඒ සඳහා වන ප්‍රවාහන ගාස්තුවද රෝගියාගෙන් අය කරන බව එහි සඳහන්ව ඇත.

මෙලෙස COVID-19  සඳහා වන PCR පරීක්ෂාව සඳහා වන තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම හරහා තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය ඊට යොමු කර ගැනීමට උත්සාහ කරන බවත් ඒ හරහා සිය පරීක්ෂණ පවත්වාගෙන යාමට අවශ්‍ය අවසරයක් වේ නම් එය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ආසිරි හෙල්ත් (පෞද්ගලික) සමාගම සඳහන් කර තිබුණි. 

කෙසේ වෙතත් රජය අනුමත කළ විද්‍යාගාරවලට බාහිරව මෙවැනි පෞද්ගලික රෝහල්වල විද්‍යාගාර තුළ මෙම COVID-19  වෛරසය පරීක්ෂාවට ලක් කිරීම වෛරසය තවත් ව්‍යාප්තවීමේ අවදානමක් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

“මේ පරීක්ෂණාගාර මේ පරීක්ෂණ සිදු කිරීම සඳහා වලංගුතාවකට ලක් කෙරිලා නෑ. මෙය නව විෂ බීජයක්. එවැනි තත්ත්වයක් මත තමයි ඔවුන් පරීක්ෂණ කට්ටල ගෙනැල්ල ඔවුන් මේ පරීක්ෂාවන් සිදු කරන්නේ.”

මෙලෙස පෞද්ගලික රෝහලකින් COVID-19  පරීක්ෂාවක් සිදු කරගෙන රජයේ රෝහලක් වෙත ඇතුළත් නොවුණු මැණික් ව්‍යාපාරිකයෙකු සම්බන්ධයෙන්ද තොරතුරු ඊයේ දිනයේදී අනාවරණය විය. ඒ අනුව මෙවැනි රෝගීන් සිය රෝහල් තුළ  තබා ගැනීම සම්බන්ධයෙන් රජය පෞද්ගලික රෝහල් වෙත චෝදනා කර සිටියි. මෙවැනි අවස්ථාවක් වෛරස තවත් ව්‍යාප්තවීමේ අවදානමක් මතු කරවන බව රජයේ අදහස වී තිබේ. 

“මේ විදියට රටේ හැම තැනේම මේ විදියට COVID-19  පරීක්ෂාවන් සිදු කරලා රෝගීන් රටේ  හැම තැනේම ඉන්න ගත්තොත් එය පාලනය කරන්න බැහැ. මෙවැනි පරීක්ෂාවක් සිදු කළ යුතුද නැද්ද කියන දේ තීරණය කරන්නේ අදාළ රෝගියා පිළිබඳ නිරීක්ෂණයකින් පසුවයි. එවැනි නිරීක්ෂණයකට තමයි රෝගියා හුදෙකලා කරන්නේ. එහි සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ තීරණය අනුව තමයි රෝගීන්ගේ සෙමපටල මේ පරීක්ෂාව සඳහා විද්‍යාගාර වෙත එවන්නේ.” වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.   කෙසේ වෙතත් අවශ්‍යතාවක් මතුවුවහොත් මෙම පෞද්ගලික රෝහල් සතු විද්‍යාගාර සහ පරීක්ෂණ කට්ටල යොදා ගනිමින් COVID-19  සඳහා වන PCR පරීක්ෂාව සිදු කිරීමේ හැකියාවක් සොයා බලන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 38