මහ බැංකුව අද සිට ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළයි

මහ බැංකුව අද සිට ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත හෙළයි

COVID-19 වෛරසයේ ව්‍යාප්තියත් සමගම මෙරට ආර්ථික ක්‍රියාකාරීත්වයට ලබා දෙන සහයෝගයක් ලෙස සිය මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ සදහා වන තීරණය පසුගිය 16 වැනිදා රැස්වූ  මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගෙන තිබේ.

ඒ අනුව අද (17දා) දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 6.25 සහ සියයට 7.25 දක්වා පදනම් අංක 25 කින් අඩු කිරීමට කටයුතු කරන බව මහ බැංකුව පවසයි.

එසේම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාව වර්තමාන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 දක්වා ප්‍රතිශතාංක 1 කින් අඩු කිරීමට තීරණය වී තිබේ. 

විශේෂයෙන්ම ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන COVID-19 වසංගතය සහ ශ්‍රී ලංකාව තුළ එය තවදුරටත් ව්‍යාප්තවීමේ හැකියාව සමග ආර්ථික කටයුතු සහා සහාය දැක්වීමේ හදිසි අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

මීට පෙර පසුගිය ජනවාරි 30 වැනිදාද මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් අඩු කිරීමටද පියවර ගෙන තිබුණි. එසේම මතු වන තත්ත්වයන් හේතු කොටගෙන ඇති විය හැකි බලපෑම්වලට මුහුණ දීම සදහා අවශ්‍ය පරිදි ද්‍රවශීලතාව සැපයීමටද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය වෙළෙද පොළ වෙත සහතිකවීමක්ද සිදු කර තිබේ. 

Visits: 74