COVID-19 ආසාදිත ගුවන් නියමුවා ගැන ශ්‍රී ලංකන් කරුණු පහදයි

COVID-19 ආසාදිත ගුවන් නියමුවා ගැන ශ්‍රී ලංකන් කරුණු පහදයි

ඊයේ දිනයේදී අනාවරණය වූ COVID-19 ආසාදිත ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු පියාසර නිලධාරියා (First Officer) සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන බව එම ගුවන් සමාගම නිවේදනයක් මගින් පවසයි.

ඒ අනුව අදාළ පළමු පියාසර නිලධාරියා සිය අවසන් දිගු මෙහෙයුම් පියාසැරිය ලෙස සිංගප්පූරුව වෙත ගොස් ඇත්තේ පසුගිය පෙබරවාරි 28 වැනිදා බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. ඉන් අනතුරුව ඔහු සිදුකළ සියලුම ගුවන් ගමන් ආපසු හරවා නැවත පැමිණීමේ ගුවන් ගමන් වන බවත් සඳහන් වෙයි.

ඊයේ සන්ධ්‍යාවේදී ඔහුගේ වෛද්‍ය තත්ත්වය දැන ගැනීමෙන් අනතුරුව පසුගිය දින 14ක කාලසීමාව තුළ ඔහු සමග ගුවන් ගමන් සඳහා එක් වූ සියලුම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන්, ඔවුන්ගේ කාලසටහන්වලින් ඉවත් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ස්වයං නිරෝධායනයක් සඳහා යොමු කිරීමට ගුවන් සමාගම උපදෙස් දී ඇතැයිද නිවේදනයේ ඇතුළත් වෙයි.

මේ අතර ගුවන් සේවා සමූහයේ ආයතනික වෛද්‍ය නිලධාරීතුමිය රජයේ සෞඛ්‍ය නලිධාරීන් සමග තත්ත්වය සම්බන්ධයෙන් හොඳින් පරීක්ෂා කරමින් සිටින බවත් ගුවන් සේවය සඳහන් කරයි.

එසේම මෙම පළමු පියාසර නිලධාරියා මාර්තු 14 සහ 15 යන සති අන්තයේදී කටුනායක ගුවන් තොටුපොළේ පිහිටි සිමියුලේටර් පුහුණු මධ්‍යස්ථානයේ සිට ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස එහි උපදේශකවරුන්ට සහ සෙසු කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

එහිදී නිසි විෂබීජ නාශක ක්‍රියාවලියක් සිදු කරන තෙක් එම ගුවන් යානා පුහුණු මධ්‍යස්ථානයේ ඇති සිමියුලේටර් අංගනයේ සියලුම පුහුණු කටයුතු නවතා දැමීමට කටයුතු යොදා ඇතැයිද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසා සිටියි.

විශේෂයෙන්ම සිය වටිනා මගීන්ට සුවපහසුව, රැකවරණය සහ ආරක්ෂාව සැපයීමේ ප්‍රමුඛතාව සපුරාලීම සඳහා සහ සිය ශ්‍රම බලකායේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වන සියලු පූර්ව ආරක්ෂක පියවර ගැනීමට ගුවන් සමාගම කටයුතු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මීට අමතරව අදාළ පළමු පියාසර නිලධාරියා මේ වනවිට කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කරවා ඇති අතර, ඔහු පසුගියදා පැවැත්වුණු කොළඹ රාජකීය – ශාන්ත තෝමස් වාර්ෂික ක්‍රිකට් තරගය නැරඹීම සඳහාද සහභාගි වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

Visits: 61