ලොක් ඩවුන් කිරීමක් නැහැ, රජය දින තුනක විශේෂ නිවාඩුවක් දෙයි

ලොක් ඩවුන් කිරීමක් නැහැ, රජය දින තුනක විශේෂ නිවාඩුවක් දෙයි

රට තුළ ඇති වී තිබෙන කෝවිඩ්-19 වෛරස ආසාදනයේ ව්‍යාප්තිය තවදුරටත් පැතිර යාම වැළැක්වීමේ අරමුණින් අද (17දා) දිනයේ සිට ලබන බ්‍රහස්පතින්දා (19දා) දක්වා දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරන බව රජය පවසයි. 

විශේෂයෙන්ම මහජනතාව රැස්වීම හැකිතාක් අවම කිරීම සඳහා මෙලෙස මාර්තු 17, 18 සහ 19 යන දින තුන මෙලෙස විශේෂ නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. කෙසේ වෙතත් මෙම නිවාඩු ප්‍රසිද්ධ නිවාඩු ලෙස නොසැලකෙන බව රජය  පවසයි.

ඊයේ රාත්‍රිය වන විට මෙරට තුළ හඳුනාගත් කෝවිඩ්-19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 28 දක්වා ඉහළ යාමත් සමගම විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා රජය මෙම තීරණය ගෙන තිබේ. 

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ දහවල් සිදුකළ  ඉල්ලීමක් වූයේ මෙරට කටයුතු සතියකට නවත්වා (ලොක් ඩවුන් කර) කෝවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය නැවැත්වීමට කටයුතු කරන ලෙසයි. එම තීරණය පමාවී ගැනීම බොහෝ ඵලවිපාක රැසක් ඇතිවීමට හේතු වෙනු ඇතැයිද ඔවුන් එහිදී සඳහන් කර තිබුණි.

මේ පසුබිමත් සමගම ඊයේ රාත්‍රිය වනවිට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ බොහෝ පිරිසක් රට “ලොක් ඩවුන්” කරන ලෙස රජයට බලපෑම් කරන පෝස්ටු පවා ඉදිරිපත් කිරීම සිදුවිය. එසේම බොහෝ පිරිසක් “Lockdown Sri Lanka ලෙස තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිල් පික්චර් පවා වෙනස් කිරීමකට ලක් කළහ. 

ඊයේ දහවල් 22ක් ලෙස වාර්තා වී තිබූ කෝවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව රාත්‍රිය වනවිට 28 දක්වා එක්වරම හය දෙනෙකුගෙන් ඉහළ යාම මෙම බලපෑම් ප්‍රබලවීම සඳහා මූලික හේතු විය. 

කෙසේ වෙතත් ලොක්ඩවුන් කිරීමක් හරහා රටෙහි ආර්ථිකයට සිදුවන හානිදායක තත්ත්වය සලකා බලා මෙලෙස දින තුනක විශේෂ නිවාඩුවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙහිදී සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර අනෙකුත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු සියලු රාජ්‍ය ආයතන සඳහා මෙම විශේෂ දින තුනක නිවාඩුව බලපැවැත්වෙන බව රජය සඳහන් කර සිටියි.

එසේම පෞද්ගලික අංශයටද මෙම නිවාඩුව ලබා දෙන මෙන් රජය පෞද්ගලික සමාගම් හිමිකරුවන්ගෙන් සහ ප්‍රධානීන්ගෙන්ද එහිදී ඉල්ලා සිටියේය.

මෙම නිවාඩුව තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබද සලකා බැලීම කෝවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය පිළිබද අවධානය යොමු කරමින් සිදුකරන බවත් රජය පවසා සිටියි.

Visits: 48