SME ණය සහනය ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් වෙතත්

SME ණය සහනය ලීසිං සහ ෆිනෑන්ස් සමාගම් වෙතත්

රටෙහි ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැනුම්කරුවන් සඳහා ලබා දී ඇති විශේෂ ණය සහන යෝජනා ක්‍රමය බැංකු නොවන මූල්‍ය අංශයේ ණය ගැනුම්කරුවන්ටද හඳුන්වාදීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් මගින් සඳහන් කරයි.

මෙම ව්‍යවසායන් වෙනුවෙන් බැංකු අංශය ලබා දී ඇති ණය සහය යෝජනා ක්‍රමය මූල්‍ය අංශය වෙතද ලබා දීමේ වැදගත්කම සලකා බැලීමෙන් අනතුරුව මෙම හඳුන්වාදීම සිදු කිරීමට තීරණය කළ බව මහ බැංකුව සිය නිවේදනයේ පවසා සිටියි.

මෙහිදී බලපත්‍රලාභී මුදල් සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් හරහා මෙම ණය ඉල්ලුම් කිරීමේ අවස්ථාව හිමිව තිබේ.  

ඒ අනුව, මෙම යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා 2020 මාර්තු 31 දින හෝ ඊට පෙර සියලුම සුදුසුකම් සපුරන ණය ගැනුම්කරුවන් විසින් ලිඛිත ඉල්ලීමක් බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත ඉදිරිපත් කළ යුතුය.

මේ සම්බන්ධයෙන් බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් වෙත නිකුත් කළ චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇතැයිද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

https://www.cbsl.gov.lk/en/laws/directions-circulars-guidelines-for-non-banks යන වෙබ් ලිපිනයෙන් මෙය වෙත පිවිසිය හැකිය.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ණය සහන ලබාදීමට නිකුත් කළ චක්‍රලේඛ අංක 01 හි නියමයන් හා කොන්දේසි පදනම් කර ගනිමින් 2019 දෙසැම්බර් 31 වැනි දිනට අක්‍රීය ණය ලෙස දැනටමත් වර්ගීකරණය කර ඇති හා ආදායම් උපදවන ක්‍රියාකාරම්වල නිරත පුද්ගලයන් හා ආයතන වෙත විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබුණි.

මීට පෙර මෙම ණය සහනය මූල්‍ය සහ කල්බදු සමාගම් වෙත ලබාදීමේ අපහසුතාවක් පවතින බවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සඳහන් කර තිබුණි. එම සමාගම්ද මේ වනවිට යම් මූල්‍ය අර්බුදවලට ලක්ව තිබීම ඊට හේතුව බව ඔවුන් එහිදී පෙන්වා දුනි.

Visits: 68