අනවශ්‍ය කලබලයෙන් පසු සුපිරි වෙළෙඳ සැල් කළමනාකරුවෝ අර්බුදයක

අනවශ්‍ය කලබලයෙන් පසු සුපිරි වෙළෙඳ සැල් කළමනාකරුවෝ අර්බුදයක

ඊයේ දිනය තුළදී රට තුළ COVID-19 වෛරසය පිළිබඳ තොරතුරු වාර්තාවීමෙන් අනතුරුව හටගත් අනවශ්‍ය කලබලය හේතුවෙන් පාරිභෝගිකයන් වැඩි වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම නිසා අද පෙරවරුව වන විට සුපිරි වෙළෙඳසැල් තුළ භාණ්ඩ හිඟයක් මතුව ඇති බව නිරීක්ෂණය වී තිබේ.

ඊයේ දිනය තුළදී නගරාශ්‍රිතව පිහිටි සෑම සුපිරි වෙළෙඳසැලකදීම මෙම මිලදී ගැනීම් වාර්තා වීමත්, හිස් වූ මෙම රාක්ක පිරවීම සඳහා ගබඩාවල සිට එම අවශ්‍ය සැපයුම් මෙම සුපිරි වෙළෙඳ සැල් ජාලය වෙත ළගා වීම සඳහා අද සන්ධ්‍යාව වන තුරු කල්ගතවීමත් හේතුවෙන් මේවායේ කළමනාකරුවෝ දැඩි අර්බුදයකට පත්ව සිටිති. 

“ඊයේ මිනිස්සු හැසිරුණේ ඕනෑවට වඩා වැඩි කලබලයකින්. දවල් පටන් ගත්ත කලබලය රාත්‍රී 10 වෙනකම් තිබුණා. අද ඉදන් රටේ භාණ්ඩ හිඟයක් ඇති වෙනවා වගේ තමයි ඒ අය බඩු මිලදී ගත්තේ. හදිසියේම පාසැල් වහපු එකත් ජනතාව දහවල් කාලයේ මේ විදියට කලබල වෙන්න එක හේතුවක්. ඒ වගේම මිනිසුන් කටකතා විශ්වාස කිරීමත් කබලයට හේතු වුණා.” එක් සුපිරි වෙලෙඳ සැල් කළමනාකරුවෙකු “ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා” වෙත පවසා සිටියේය.

එහිදී ගබඩා කළමනාකරුවන්ටද සැපයුම් ප්‍රමුඛත්වය ලබා දීම පිළිබද ගැටලුවක්ද මතුව තිබෙන බව පැවසෙයි. ජාලයේ සෑම වෙළෙද සැලක්ම තමන්ට අවශ්‍ය ඇනවුම් ඉදිරිපත් කිරීම ඊට හේතු වී තිබේ.

මේ අතර භාණ්ඩ මිලදී ගත් පාරිභෝගිකයන් වැඩි දෙනා ඒ සඳහා ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයට යොමුවූ බවක් නිරීක්ෂණය වූ බවත්, පැමිණි සියලු දෙනාම භාණ්ඩ මිලදී ගැනීම විනා වෛරසයෙන් තමන්ගේ ආරක්ෂාවක් හෝ අන්අයගේ ආරක්ෂාවක් පිළිබඳව අවධානය යොමු නොකළ බවත් තවත් සුපිරි වෙළෙඳ සැලක කළමනාකරු පවසා සිටියේය. 

විශේෂයෙන්ම ඊයේ දිනය තුළදී පාරිභෝගිකයන් සුපිරි වෙළෙඳසැල්වලට අමතරව නගරයේ පිහිටි අනෙකුත් සිල්ලර අලෙවිසැල් හරහාද භාණ්ඩ මිලදී ගැනීම් සිදුකළ අතර, ඒවායේද භාණ්ඩ හිස්වීම හේතුවෙන් යළිත් සැපයුම් පැමිණෙන තුරු අද පෙරවරු කාලයේදී එම වෙළෙඳ සැල් වසා දැමීමට ඒවායේ හිමිකරුවන් තීරණය කර තිබීම සුපිරි වෙළෙඳ සැල් වෙත මෙවැනි පීඩනයක් එල්ලවීමට හේතුව වී තිබේ.

“පැය කිහිපයක් තුළදී විශාල ආදායමක් සුපිරි වෙළෙද සැල් වෙත ලැබුණා තමයි. ඒත් අද පෙරවරුවේදී තවත් පාරිභෝගිකයන් පිරිසක් මේ නිසා අපහසුතාවට පත්වෙලා. තවත් කළමනාකරුවෙකු පවසා සිටියේය.

ඒ අනුව පාරිභෝගිකයන් තවදුරටත් තම සුපිරි වෙළෙඳ සැල් වෙත රඳවා තබා ගනිමින් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ අඩුවකින් තොරව ලබා දීම වෙනුවෙන් හැකි සෑම පියවරක්ම ගන්නා බව එම කළමනාකරුවෝ පවසති.

Visits: 83