මහ බැංකුවේ “2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය” ප්‍රවර්ධනය දියත් කෙරේ

මහ බැංකුවේ “2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය” ප්‍රවර්ධනය දියත් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 වසර ශ්‍රී ලංකාවේ ඩිජිටල් වර්ෂය ලෙස නම් කිරීමේ “2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය” ප්‍රවර්ධන වැඩසටහන පසුගිය මාර්තු 11 වැනිදා මහ බැංකු මූලස්ථානයේදී පැවැත්වුනි. මහ බැංකු අධිපති මහාචාර්ය, දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම වැඩසටහන සඳහා මහ බැංකුවේ ජ්‍යෙෂ්ට නිලධාරීන් මෙන්ම මෙරට බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී බැංකු නොවන මූල්‍ය ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මෙරට තුළ කාසි සහ නෝට්ටු භාවිතය අවම කරමින් ජනතාව අතර ඩිජිටල් ගනුදෙනු භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව මහ බැංකුව පවසයි. ඒ හරහා කාසි සහ නෝට්ටු මුද්‍රණය සඳහා යන වියදම අඩු කිරීමත්, ජනතාව තුළ මූල්‍ය අන්තර්ග්‍රහණය ඉහළ නැංවීමත් අපේක්ෂාව බව මහ බැංකුවේ අදහස වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරේ.

මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා විසින් “Cash වදේ” ලෙස සඳහන් ප්‍රචාරණ වැඩසටහන හඳුන්වාදීමද මෙහිදී සිදුවිය.

මෙමගින් මුදල් පරිහරණයේදී පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් යන දෙපාර්ශ්වයම මුහුණ දෙන ගැටලු පිළිබඳව “Cash වදේ” තුළ සඳහන් කෙරී ඇතැයි මහ බැංකුව පවසයි. 

එසේම මෙම දියත් කිරීම මගින් සුළු පරිමාණ ගනුදෙනු ප්‍රචලිත කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනෙහි නිල ආරම්භය සනිටුහන් කෙරුණු බවත්, ජංගම යෙදුම්, ලංකා QR කේතය සහ ණය සහ හර කාඩ්පත් වැනි ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිතා කිරීමට පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීම අරමුණ වී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකු සහ අනෙකුත් ගෙවීම් සේවා සපයන්නන් සමග “2020 ඩිජිටල් ගනුදෙනු වර්ෂය ප්‍රවර්ධන වැඩසටහන අදියර කිහිපයකින් රට පුරා දියත් කිරීමට සැලසුම් කෙරී ඇත. ඒ හරහා සෑම ජන කොටසකටම මෙම ඩිජිටල් ගෙවීම පිළිබඳ දැනුවත් කිරීම අපේක්ෂාව බව පවසයි.

Visits: 46