කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන පර්යන්තය ඉදිකිරීමේ ගිවිසුම් අත්සන් කෙරේ

කටුනායක ගුවන් තොටුපොළ ප්‍රධාන පර්යන්තය ඉදිකිරීමේ ගිවිසුම් අත්සන් කෙරේ

කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් පර්යන්තය ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියට අදාළ ගිවිසුම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපානයේ තයිෂෙයි (taisei) සමාගම අතර අත්සන් තැබීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේදී අද දිනයේදී සිදුවිය.

එහිදී රජය වෙනුවෙන් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුන් අත්සන් තබා තිබේ. ජපානයේ තයිෂෙයි සමාගම වෙනුවෙන් එහි විධායක කලමනාකාර නිලධාරී කෙයිජි හිරානෝ සහ සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රධානී ටට්සුයා සුගවරා යන මහත්වරුන් අත්සන් තබා තිබේ.

අදාළ ගිවිසුමට අනුව තයිෂෙයි සමාගම වසර තුනක කාලයක් ඇතුළතදී මෙම ඉදිකිරීම් අවසන් කළ යුතුව ඇත. මේ සඳහා වැය කෙරෙන මුදල ශ්‍රී ලංකාරුපියල් 35,135,843,333 ක් බව රජය පවසයි.

කටුනායක ගුවන් තොටුපොළේ පර්යන්තය තුළ පහසුකම් ඇත්තේ වාර්ෂිකව මිලියන 6ක පමණ මගී ධාරිතාවක් හැසිරවීම සඳහා පමණක් පවත්, මේ වනවිට ගුවන් තොටුපොළ මගින් සිදු කෙරෙන මෙහෙයුම් ප්‍රමාණය වාර්ෂිකව මිලියන 10.8 දක්වා ඉහළ ගොස් ඇති බවත් රජය පෙන්වා දෙයි. 

ඒ අනුව වසර 2025 වන විට බණ්ඩාරනායක ගුවන් තොටුපොල මගින් මෙහෙයවනු ලබන ගුවන් මගීන් ප්‍රමාණය වාර්ෂිකව මිලියන 20 දක්වා ඉහළ යනු ඇතැයිද ගණන් බලා තිබේ. මේ තත්ත්වයට මුහුණ දීම සඳහා ගුවන් තොටුපොළ මගී පර්යන්ත ආශ්‍රිත ධාරිතාව වැඩි කිරීම දැඩි අවශ්‍යතාවක්ව පැවතුණි.

මෙහිදී ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම විසින් මෙම ඉදිකිරීම් නියමිත කාලසීමාව තුළ අනිවාර්යයෙන්ම අවසන් කරන ලෙස අදාළ සමාගමට උපදෙස් ලබා දී තිබේ. එම ඉදිකිරීම්ද විශේෂ කමිටුවක් මගින් නිරන්තර අධීක්ෂණයට ලක් කිරීමටද නියමිතව ඇත.

පෙර ලිපිය – කටුනායක දෙවැනි පර්යන්තය ජපානයේ Taisei වෙත දුන්නේ නොදී බැරිකමටලු

Visits: 33