කොටස් වෙළෙඳපොළ රැක ගැනීමට සුරැකුම්පත් කොමිෂම සාකච්ඡාවක

කොටස් වෙළෙඳපොළ රැක ගැනීමට සුරැකුම්පත් කොමිෂම සාකච්ඡාවක

ආසන්න දින කිහිපයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු වෙත බලපා ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ලබා දිය හැකි සහයෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජිකයන් ඊයේ දිනයේදී විශේෂ සාකච්ඡාවක යෙදුණු බව පවසයි.

ලොව පුරා ව්‍යාප්තවෙමින් පවතින COVID-19 වෛරසය හේතුවෙන් මේ වනවිට ලොව කොටස් වෙළෙඳ පොළ රැසක්ම කඩා වැටීමට ලක්ව ඇති අතර, ඒ හරහා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත එල්ල වන බලපෑම අවම කිරීම සඳහා මෙම සහාය අවශ්‍ය නියාමන සහන ලබාදීම වෙනුවෙන් ඔවුන් මෙහිදී සාකච්ඡා පවත්වා තිබේ.

විශේෂයෙන්ම පසුගිය අඟහරුවාදා දිනයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ආරම්භ කළ මොහොතේදී එහි ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 අගය -5කට වඩා අඩු මට්ටමකට අවප්‍රමාණයවීමත් සමගින්ම ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමක් සිදුවිය. 

මෙය සිය පද්ධතියේ පවතින ස්වයක්‍රීය ක්‍රමවේදයක් අනුව සිදුවූවක් බව කොළඹ කොටස් වෙළෙඳ පොළ එහිදී පවසා තිබුණි. කෙසේ වෙතත් එහිදී පැය භාගයකට ආසන්න කාලයක් ගනුදෙනු අත්හිටවුණු අතර, එම දිනය තුළදී කොටස් වෙළෙඳ පොළ කටයුතු වෙත යම් අලාභයක් සිදුව ඇතැයිද පසුව අනාවරණය විය.

මෙම සාකච්ඡාව සඳහා විනිමය හා සුරුකුම්පත් කොමිසමේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න, අධ්‍යක්ෂ ජනරාල් චින්තක මෙන්ඩිස්, එහි කොමසාරිස්වරුන් වන මනිල් ජයසිංහ, එච්.ඒ. කරුණාරත්න, ප්‍රියන්ත රත්නායක, නරේෂ් අබේසේකර සහ කොළඹ කොටස් වෙළෙඳ පොළ නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක යන මහත්වරුන් සහභාගි වී ඇත.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව කොමිෂන් සභාවේ සභාපතිවරයා, අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ට නිලධාරීන් කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ගනුදෙනු සිදු කරන තැරැව්කාර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්ද හමුවී සාකච්ඡා කර තිබේ. එහිදී වත්මන් තත්ත්වය මඟහැරවීම සඳහා එම සමාගම්වල යෝජනා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසද ඉල්ලීම් කෙරී ඇත.

මෙහිදී අදහස් දක්වා ඇති තැරැව්කාර සමාගම්වල ප්‍රධාන විධායකයන්, පවතින ගෝලීය අර්බුදකාරී තත්තව හමුවේ මෙලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ අවප්‍රමාණය වුවද යළිත් එය ශක්තිමත්ව නැගී සිටීමේ අවස්ථාවක් පවතින බව සඳහන් කර තිබේ.

Visits: 360