NOKIA වසර 6කට පසු ප්‍රධාන විධායක නිලධාරියා වෙනස් කරයි

NOKIA වසර 6කට පසු ප්‍රධාන විධායක නිලධාරියා වෙනස් කරයි

ලොව ප්‍රමුඛ පෙළේ ජංගම දුරකතන සන්නාමයක් වන ෆින්ලන්තයේ NOKIA සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන රාජීව් සූරි ලබන අගෝස්තු මාසයේදී සිය ධුරයෙන් ඉවත්වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. ඉන්දියාවේ උපත ලැබූවෙකු වන ඔහු පුරා වසර හයකට ආසන්න කාලයක් NOKIA සමාගමේ ප්‍රධාන විධායක ධුරය දැරුවේය. 

ආසන්න කාලසීමාවේදී NOKIA සමාගම 5G තාක්ෂණය හමුවේ අනෙකුත් තරගකාරී සන්නිවේදන සමාගම් හා කැපී පෙනෙන තරගයක් ලබාදීමට අපොහොසත්වීම මෙලෙස ප්‍රධාන විධායක නිලධාරියා ධුරයෙන් ඉවත් කිරීමට හේතුව වී තිබේ.

ඒ අනුව සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ෆින්ලන්තයේ බලශක්ති සමාගමක් වන Fortum හි වර්තමාන සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියාද වන පෙක්කා ලුන්ඩ්මාර්ක් පත් කිරීමට නියමිතව ඇත. ඔහු මීට පෙර 1990 කාලසීමාවේදී NOKIA සමාගම හා සම්බන්ධව කටයුතු කර ඇත.

පසුගිය සතියේදී NOKIA සමාගමේ සභාපති රිස්ටෝ සිලාස්මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය කෙරී තිබේ.

අද වනවිට ලොව ප්‍රමුඛ පෙළේ ජංගම දුරකතන සමාගම් තුන අතරින් එකක් වන NOKIA සමාගම ආසන්න වසර කිහිපයේදී සිය තරගකරුවන් වන හුආවෙයි සහ එරික්සන් යන දුරකතන සමාගම් හා හොඳ කරටකර තරගයක් ලබාදීමට අපොහොසත්ව තිබෙන බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන්ම හුආවෙයි සමාගමේ 5G තාක්ෂණය මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ ඔස්ට්‍රේලියාව තුළ ප්‍රශ්නකාරී තත්ත්වයට පත්ව ඇති මොහොතක එහි වාසිය තම සමාගම වෙත ලබා ගැනීමට NOKIA ක්‍රියා නොකළ බවට අදහස් පළ වී තිබේ.

වාර්තා සඳහන් කරන ආකාරයට පසුගිය මාසය වන විට හුආවෙයි සමාගම වාණිජ 5G කොන්ත්‍රාත්තු 91ක් දිනා ගැනීමට සමත්ව සිටින අතර, එරික්සන් සමාගම කොන්ත්‍රාත්තු 81ක් දිනා ගෙන ඇත. එහෙත් NOKIA සමාගම හිමිකරගෙන ඇත්තේ කොන්ත්‍රාත්තු 68ක් පමණකි.

1995 වසරේදී NOKIA සමාගමේ අලෙවි කළමනාකරුවෙකු ලෙස සම්බන්ධවී ඇති රාජීව් සූරි සතුව එම සමාගම තුළ වසර 25කට අධික කාලයක අත්දැකීම් පවතී. ඔහු 2014 වසරේදී NOKIA සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස නම් කෙරිණි. ප්‍රධාන විධායක ධුරයෙන් ඉවත් වුවද ඔහු ලබන වසර වන තුරු NOKIA සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත.

මේ අතර NOKIA සමාගමේ සභාපති රිස්ටෝ සිලාස්මාද මේ වසර අවසන් වීමට පෙරාතුව සිය ධුරයෙන් ඉවත්වන බව පවසා ඇත. දැනට උප සභාපතිවරයා වන සාරි බැල්ඩොයුෆ් එම ධුරයට පත් කිරීමට නියමිතව ඇත.

Visits: 67