අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධ නව නීති

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධ නව නීති

අද වනවිට මෙරට තුළ වඩාත් ජනප්‍රියතාවකට පත්ව ඇති අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යපාරය සදහා නව නීති හදුන්වාදීමට කටයුතු යොදන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි. එහි තරගකාරීත්ව ප්‍රවර්ධන අංශයේ අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය මේ සතියේ “ද සන්ඩේ ටයිම්ස්” පුවත්පත වෙත අදහස් දක්වමින් මේ කරුණු සදහන් කර තිබේ. 

විශේෂයෙන්ම මෙම අන්තර්ජාල භාණ්ඩ අලෙවියේදී බොහෝ වංචාවන් සිදුවන බවට එම අධිකාරිය වෙත වාර්තා වීමත්, අන්තර්ජාලය හරහා සිදු කෙරෙන මෙම වෙළෙදාමේදී ඇති වන අකටයුතුකම් නැවැත්වීම සඳහා දැනට පවතින නීති සහ රෙගුලාසි ප්‍රමාණවත් නොවීම මීට හේතුව බව ඇය සඳහන් කර සිටියි.

කරුණාරත්න මහත්මිය පවසන ආකාරයට පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් මුහුණ දුන් ගැටලු පිළිබඳ පැමිණිලි 150කට අධික සංඛ්‍යාවක් ලැබී තිබේ. එහිදී ව්‍යාජ නිෂ්පාදන, නිෂ්පාදනවල ගුණාත්මක බව පිළිබඳ ගැටලු, භාණ්ඩ ලබාදීම පමාවීම් සහ දුර්වල පාරිභෝගික සේවාවන් යනාදී ගැටලු පිළිබඳවද පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත පැමිණි ලැබී ඇත. 

මෙම පැමිණිලි අතරින් 46ක්ම මෙරට ක්‍රියාත්මක එක් ප්‍රසිද්ධ අන්තර්ජාල භාණ්ඩ අලෙවි ව්‍යාපාරයකට එරෙහිව ලැබී ඇතැයිද ඇය පවසයි.

“මෙතැනදී ලොකුම තර්ජනය වෙන්නේ මෙම අන්තර්ජාල අලෙවිකරුවන් ව්‍යාපාරික ආයතනයක් ලෙස ලියාපදිංචි නොවී සිටීමයි. ඇය සඳහන් කරයි.

ඒ අනුව මෙවැනි අන්තර්ජාල භාණ්ඩ අලෙවිකරුවන් පිළිබඳ විනිවිදභාවයක් ඇති කරමින් ඔවුන් සිදුකරන සදාචාර විරෝධී වෙළෙඳාම්වලට එරෙහිව ක්‍රියා කළ  හැකි නීතියක් සකස් කිරීම සඳහා මේ වනවිට අධිකාරිය කරුනු අධ්‍යයනය කරමින් සිටින බවත් ඇය පවසයි.

මෙලෙස සකස් කෙරෙන නව නීති යටතේ අන්තර්ජාලය හරහා සිය අලෙවි කටයුතු සිදු කරන සියලුම ව්‍යාපාර පාරිභෝගික අයිතීන්, ඔවුන්ගේ අවශ්‍යතාවන්, ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු සහ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් මෙන්ම සයිබර්අවකාශයේ ආරක්ෂාවද සුරැකීම අතිශය වැදගත් බව සමන්තා කරුණාරත්න මහත්මිය වැඩිදුරටත් පවසා සිටියි.

එහි තවත් අවස්ථාවක් ලෙස මෙම අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන ව්‍යාපාර අනෙකුත් ව්‍යාපාර යටත් වෙන නීතිය යටතට පත්වී, ඒවා ලියාපදිංචි කිරීමක් සිදු කර බදු ගෙවීමේ තත්ත්වයක් දක්වා පත්වෙනු ඇතැයිද අධිකාරිය සඳහන් කරයි.

Visits: 199