සෞදි – රුසියා තෙල් යුද්ධයෙන් ලෝක වෙළෙද පොළේ බොර තෙල් මිල සීඝ්‍ර ලෙස පහතට

සෞදි – රුසියා තෙල් යුද්ධයෙන් ලෝක වෙළෙද පොළේ බොර තෙල් මිල සීඝ්‍ර ලෙස පහතට 

ඉරිදා දිනයේදී සිදුවුණු ලෝක වෙළෙද පොළෙහි බොරතෙල් බැරලයක මිල 30%කින් පහත වැටීමේ බලපෑම  හේතුවෙන් අද දිනයේ මේ මොහොත වන විටත් බොරතෙල් බැරලයක මිල සීඝ්‍ර ලෙස පහත වැටෙමින් පවතින බව වාර්තා වෙයි.

පසුගිය ඉරිදා වෙළෙඳ පොළ කටයුතු ආරම්භ කර තත්පර කිහිපයක් ඇතුළතදී මෙම කඩාවැටීම සිදුව තිබේ. මෙය 1991  වසරේ ඇති වූ ගල්ෆ් යුද්ධය අවස්ථාවේදී සිදු වූ ලෝක වෙළෙඳ පොළේ මිල අඩුවීමටත් වඩා අඩු අගයක් බව පැවසෙයි.

ඒ අනුව මෙරට වේලාවෙන් අද දහවල් 1.30 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 33.61ක් ලෙසත් එක්සත් ජනපදයේ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 29.82ක් ලෙසත් සඳහන්ව තිබුණි. 

COVID-19 වෛරසය නිසා කඩා වැටී ඇති කර්මාන්ත සහ නිෂ්පාදන හේතුවෙන් ආසන්න කාලයේදී ඇති වුණු බොරතෙල් ඉල්ලුමේ අඩුවීමත්, පසුගිය දින කිහිපයේදී මෙම ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල තීරණය සම්බන්ධයෙන් සෞදි අරාබියත් රුසියාවත් අතර පවතින වෙළෙඳ යුද්ධයත් නිසා මෙලෙස බොරතෙල් මිල පහත බැස තිබේ. 

මෙම කරුණු දෙක තවදුරටත් එසේම පැවතිය හොත් ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 20 දක්වා අඩුවීමේ අවස්ථාවක් ඇතැයි වෙළෙද පොළ ආරංචි මාර්ග පවසයි.

පසුගිය සති අන්තයේදී නිවේදනයක් නිකුත් කළ ඔපෙක් සංවිධානයේ ප්‍රධාන සාමාජික සෞදි අරාබිය දැනට පවතින ඉල්ලුමේ අඩුවීම මගහැරවීම සඳහා ආසියාවේ, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සිටින සිය ගනුදෙනුකරුවන් වෙත එක් බැරලයක් සඳහා ඩොලර් 6ත් 8ත් අතර වට්ටමක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණි.

මේ අතර, පසුගිය සිකුරාදා දිනයේදී වියෙනා නුවරදී පැවැත්වුණු ඔපෙක් සංවිධානයේ සහ ඔපෙක් සංවිධානයේ සාමාජික නොවන රාජ්‍යයන් අතර සාකච්ඡාවකදී ඉදිරිපත් වුණු දිනකට බොරතෙල් බැරල් මිලියන 1.5ක කප්පාදුවකට රුසියාව එකඟ නොවීම ගැටලුව තවදුරටත් වර්ධනය කිරීමට හේතු වී ඇත. 

දැනටමත් ඔපෙක් සංවිධානය යෝජනා කර ඇති දිනකට බොරතෙල් බැරල් මිලියන 2.1ක කප්පාදුව අමතරව මෙම නව කප්පාදුව යෝජනා වී තිබුණි. 2008 වසරේ ඇති වූ ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව යෝජිත විශාලතම බොරතෙල් කප්පාදුවද මෙයයි.

Visits: 108