නොරොච්චෝලේ ගල් අගුරු අලු සඳහා සිමෙන්ති නිෂ්පාදකයන්ගෙන් ඉහළ ඉල්ලුමක්

නොරොච්චෝලේ ගල් අගුරු අලු සඳහා සිමෙන්ති නිෂ්පාදකයන්ගෙන් ඉහළ ඉල්ලුමක්

නොරොච්චෝලේ පිහිටි ගල් අඟුරු බලාගාරයේ විදුලිය නිෂ්පාදනය සදහා යොදා ගන්නා ගල් අගුරු දැවීමෙන් ඉතිරි වන අතුරු නිෂ්පාදනයක් වන “ගල් අඟුරු අලු (Coal Fly Ash)” සඳහා මේ වනවිට ඉතා හොඳ ඉල්ලුමක් ගොඩනැගෙමින් පවතින බව එම බලාගාරයේ කළමනාකාර ඉන්ද්‍රිසිරි ගාල්ලගේ මහතා පවසයි.

පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක් මෙම නොරොච්චෝලේ බලාගාරයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී ඒ මහතා ඔවුන් වෙත මේ අදහස් පළ කර තිබේ. විශේෂයෙන්ම මෙම අතුරු නිෂ්පාදන වන ගල් අඟුරු අලු සිමෙන්ති නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අතර, මෙරට ප්‍රධාන පෙලේ සිමෙන්ති නිෂ්පාදකයන් තුළ මේ සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බවත් වාර්තා පවසයි.

එසේම විවිධ කොන්ක්‍රීට් නිෂ්පාදන සඳහාද මෙම ගල් අගුරු අලු යොදා ගැනීමත් මේ වනවිට ඉහළයමින් පවතින බවත් සඳහන් වෙයි.

ඒ අනුව මෙම ගල් අගුරු අලු අලෙවියෙන් පමණක් මේ වසර තුළ එම බලාගාරය රුපියල් බිලියනයකට වඩා වැඩි ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තු තබා තිබෙන බව කළමනාකාරවරයා පවසා සිටියි.

“පසුගිය වසරේදී මේ ගල් අඟුරු අලු අලෙවි කිරීමෙන් අපි රුපියල් මිලියන 600ක ආදායමක් ලැබුවා. මේ වසරේදී එය රුපියල් බිලියනය දක්වා වර්ධනය කරගැනීම අපේක්ෂාවයි. සාමාන්‍යයෙන් මේ සිමෙන්ති නිෂ්පාදනයේදී අමුද්‍රව්‍යයක් ලෙස ක්ලින්කර් යොදා ගැනෙනවා. අද වනවිට සිමෙන්ති නිෂ්පාදකයන් මෙම ක්ලින්කර් භාවිතය අඩු කරමින් ඒ වෙනුවට මෙම ගල් අඟුරු අලු යොදා ගන්නවා.” ගාල්ලගේ මහතා පවසා තිබේ.

අද වනවිට මෙරට සිමෙන්ති නිෂ්පාදකයන් මෙම ක්ලින්කර් ආනයනය සඳහා අතිවිශාල මුදලක් වැය කරන අතර, මෙම ක්ලින්කර් මෙරට තුළදී ස්වාභාවිකව හමුනොවෙයි. ඒ අනුව සිය බලාගාරයේ අතුරු නිෂ්පාදනයක් ලෙස ලැබෙන මෙම ගල් අගුරු අලු වෙත එම සමාගම් වෙතින් ඉහළ ඉල්ලුමක් පවතින බව කළමනාකරු පවසයි. එසේම මේ හරහා ක්ලින්කර් ආනයනයට වැය වෙන මුදල් ඉතිරි කරගැනීමටත් හැකි බව ඔහුගේ අදහස වී තිබේ. ඒ අනුව සිදුවිය යුත්තේ මෙම කටයුතු නිසිආකාරව කළමනාකරණය කිරීම බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

Visits: 69