UBER නව ආරක්ෂක ක්‍රමවේද තුනක් හඳුන්වාදීමට යයි

UBER නව ආරක්ෂක ක්‍රමවේද තුනක් හඳුන්වාදීමට යයි

UBER සේවාව සමග සම්බන්ධවී සිටින රියදුරන්ගේ මෙන්ම පාරිභෝගිකයන්ගේද ආරක්ෂාව සඳහා ඉදිරියේදී නව ආරක්ෂක විශේෂාංග කිහිපයක් හඳුන්වා දෙන බව එම සමාගම පවසයි. දැනට සිය සේවාව ලබා ගන්නා පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව වැඩි කිරිම සඳහා මෙම ක්‍රමවේද අනුගමනය කිරීමට UBER සමාගම කටයුතු යොදා ඇත. 

දකුණු ආසියානු කලාපයේ UBER මෙහෙයුම්හි ප්‍රධානී පවන් වායිෂ් විසින් පසුගියදා කොළඹදී මේ නව ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව අනාවරණය කරන ලදි.

ඒ අනුව මෙහිදී ආරක්ෂක සහාය ලබා දෙන දුරකතන අංකයක් (Safety Helpline), සිය ගමන්මග පිළිබඳව පරීක්ෂාවෙන් සිටිය හැකි ක්‍රමවේදයක් (RideCheck) සහ පින් අංක සත්‍යාපනයක් (Pin Verification) යනාදී ලෙස නව ආරක්ෂක විශේෂාංග ඇතුළත් වන බව සමාගම පවසයි. ඉදිරි සති කිහිපය ඇතුළතදී මෙම ක්‍රම සියල්ල සිය UBER ඇප් වැඩසටහන වෙත ඇතුළත් කරන බවත සමාගම සඳහන් කරයි.

මේ යටතේ  ඇති Safety Helpline දුරකතන අංකය හරහා පාරිභෝගිකයන්ට එක් බොත්තමක් එබීමෙන් UBER ආරක්ෂක කණ්ඩායම හා සම්බන්ධ විය හැකිය. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය එරෙහත් හදිසි අවස්ථාවක් නොවන කාරණාවලදී මෙම ඇමතුම භාවිතා කළ හැකිය. උදාහරණයක් ලෙස රියදුරු සමගින් ඇති කරගන්නා ගැටුමක් හෝ රථයේ කාර්මික දෝෂයක් පිළිබඳව මේ හරහා වාර්තා කළ හැකිය. මෙම ඇමතුමට පිළිතුරු දීම සඳහා UBER හි ආරක්ෂක විශේෂඥයන් පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවත් සමාගම පවසයි.

එසේම RideCheck විශේෂාංගය මගින් රියදුරන්ට මෙන්ම මගීන්ටද සිය ගමනේ අවිධිමත්බව පිළිබඳව දැනුම් දිය හැකිය. උදාහරණයක් ලෙස දිගු, මෙන්ම ප්‍රමාණයට වඩා වැඩි නැවතුම් සංඛ්‍යාවක් සහිතව සිදුකරන ගමන් පිළිබඳව මෙහිදී දැනුම් දිය හැකිය.

මීට අමතරව Pin Verification හරහා රියදුරන්ට සිය රථයට ගොඩවුණේ සිය නියමිත පාරිභෝගිකයාමද යන්න පිළිබඳව ස්ථිරකිරීමක් සිදු කරයි. එහිදී පාරිභෝගිකයන්ට අංක හතරක පින් අංකයක් ලැබෙන අතර, එය රියදුරා වෙත ලබා දී එය ගැලපීමෙන් පසුව පමණක් සිය ගමන ආරම්භ කළ හැකිය. 

මෙහිදී විශේෂයෙන්ම නව තාක්ෂණික නවෝත්පාදන යොදා ගනිමින් සිය කර්මාන්තය තුළ ආරක්ෂාව තවදුරටත් ඉහළ නංවා ලීම අරමුණ බව UBERමෙහෙයුම් හි ප්‍රධානී පවන් වායිෂ් පවසයි.

මෙරට තුළ මෙන්ම ආසියානු කලාපයේ රටවල් කිහිපයකදීම UBER සේවාව සපයන රියදුරන් සහ එහි සේවාව ලබා ගන්නා  පාරිභෝගිකයන් අතර අවස්ථා ගණනාවකදීම විවිධ ගැටුම් ඇති වූ බවටත් සමාජ මාධ්‍ය තුළ වාර්තා වී තිබුණි.

Visits: 85

Leave a Reply

Your email address will not be published. Required fields are marked *