ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ට සහන මිලට රත්‍රන්

ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ට සහන මිලට රත්‍රන්

දිවයින පුරා සිටින  මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාපදිංචි ශිල්පීන් සඳහා සහන මිලට රත්‍රන් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව කර්මාන්ත හා සැපයුම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වුණු ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ගේ ජාතික සමුළුවේදී අමාත්‍යවරයා මේ අදහස් දක්වා තිබේ.

ඒ අනුව ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට තීරුබදු රහිතව රත්රන් ආනයනයට අවස්ථාව ලබාදී එම අධිකාරියේ නිර්දේශ යටතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ යෙදී සිටින ශිල්පීන්ට මෙලෙස සහන මිලකට රත්‍රන් ලබා දීමේ වැඩපිළිවෙලක් නුදුරේදීම ඇති කරන බව අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

ඒ සඳහා වන කැබිනට් අනුමැතිය ලබා ගැනීමේ කටයුතු මේ වනවිටත් සිදු වෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ. විශේෂයෙන්ම මේ හරහා ලංකාව පුරා විසිරී සිටින සුළු පරිමාණ ස්වර්ණාභරණ ශිල්පීන්ට  ඉමහත් සහනයක් සැලසීමත් අමාත්‍යාංශයේ අරමුණ වී තිබේ.

එහි මූලික පියවරක් ලෙස දිවයින පුරා සිටින ස්වර්ණාභරණ ශිල්පීන් විධිමත් ලෙස හඳුනාගෙන ඔවුන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ලියාංපදිංචි කොට නිල හැඳුනුම්පත් ලබා දීමේ අපේක්ෂාවෙන් මෙම ජාතික සමුළුව සංවිධානය වී තිබේ.

විශේෂයෙන්ම පසුගිය වසර හතරහමාර පුරා සිදුවූ කර්මාන්ත ක්ෂේත්‍රයේ බිඳ වැටීම හේතුවෙන් ණය බරින් මිරිකී සිටින ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පීන්ට සහන සැලසීමට පියවර ගන්නා බවත්, අධිකාරි පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නිෂ්පාදනකරුවන්ට කාරක ප්‍රාග්ධනය ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

මෙරට ආනයන වියදම අඩු කිරීම සඳහා 2018 වසරේ අප්‍රේල් මාසයේදී ඇති කරගත් තීරණයකට අනුව ආනයනය කරන රත්රන් වෙනුවෙන් බදු පැනවීමක් සිදු විය. ඒ අනුව අද වන විට මෙරට රත්රන් ආනයනය ශුන්‍ය තත්ත්වයට පත්ව තිබේ. ඒ හේතුවෙන් මෙරට තුළ රත්රන් මිල ගණන් ඉහළ ගොස් සිය කර්මාන්තය අසීරු වී ඇතැයිද ස්වර්ණාභරණ නිෂ්පාදකයෝ පවසති. 

මේ අතර, ලොව පුරා ව්‍යාප්ත වන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ රත්රන් අවුන්සයක මිල ඩොලර් 1,650 කට (රුපියල් ලක්ෂ තුනකට) ආසන්න වී තිබේ. එසේම කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 77,500 කට අධික වී ඇත.

Visits: 29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *