“ඉදිරි මාස 12 දී ආර්ථිකය පිළිබඳව ජනතා විශ්වාසය දරුණු බිඳ වැටීමක” – නීල්සන් ආයතනයේ පාරිභෝගික විශ්වාසය පිළිබඳ දර්ශකය පවසයි

මෙරට ක්‍රියාත්මක මුල් පෙළේ සමීක්ෂණ ආයතනයක් වන නීල්සන් ආයතනය මගින් මාසිකව ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ පාරිභෝගික විශ්වාසය පිළිබඳ දර්ශකයේ ප්‍රවණතා (Sri Lanka Consumer Confidence Index Trends) පිළිබඳ වාර්තාවේ 2020 දෙසැම්බර් මාසය සඳහා වන දර්ශක අගයන් නිකුත් කරන්නට ඊයේ කටයුතු යෙදිණි.

ඒ අනුව 2020 වසර පුරා පැවැති වසංගත තත්ත්වයේ බලපෑම තවදුරටත් පෙන්නුම් කරමින් දෙසැම්බර් මාසයේදී පාරිභෝගික විශ්වාසය පිළිබඳ වූ දර්ශකය නොවැම්බර් මාසයේ පැවැති අගයට සාපේක්ෂව ඒකක 7ක් පසු බසිමින් ඒකක 41ක් මට්ටමට පත්ව තිබෙන බව නීල්සන් ආයතනය පවසයි.

නීල්සන් ආයතනය දුරකතනය හරහා සිදු කරන සාකච්ඡා මාර්ගයෙන් පාරිභෝගිකයන්ගෙන් ලබා ගන්නා තොරතුරු පදනම් කරගනිමින් මෙම සමීක්ෂණ වාර්තාව සම්පාදනය කරයි. එහිදී කාර්තුවක් සඳහා ප්‍රතිචාර දක්වන්නන් 300 දෙනෙකුගේ (මාසයකට 100ක්) නියැදියක් මේ සඳහා යොදා ගනියි. බස්නාහිර, මධ්‍යම සහ දකුණ යන පළාත්හි වෙසෙන ජනතාවගෙන් සිය විශ්වාසයේ මට්ටම පිලිබඳව සහ ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳව මෙහිදී තොරතුරු ලබා ගැනීම සිදු කරයි.

2009 වසරේ තෙවැනි කාර්තුවේ සිට කාර්තුමය වශයෙන් පවත්වාගෙන ගිය මෙම සමීක්ෂණය 2011 වසරේ ජනවාරි මාසයේ සිට මාසිකව සිදු කිරීමට නීල්සන් සමාගම කටයුතු යොදා ඇත.

ඒ අනුව වසර ආරම්භයේදී ඉතා හොඳ මටට්මක පැවැති මෙම පාරිභෝගික විශ්වාසය අප්‍රේල් මාසයෙන් පසුව යම් පසුබැසීමක් පෙන්නුම් කර ඇත. එහිදී මූලිකවම නව කොරෝනා වසංගතයේ පළමු රැල්ල හේතු විය. එසේම ජූලි මාසයේදී රට තුළ තුනී වී ගිය වසංගතය හේතුවෙන් යළිත් පාරිභෝගිකයන් අතර මෙම විශ්වාසය ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් ඔක්තෝබර් මාසයේදී ඇති වූ නව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ල හේතුවෙන්  යළිත් වටයකට මෙම පාරිභෝගික විශ්වාසය අඩු වීමක් පටන් ගෙන ඇත.

අප්‍රේල් මාසයේදී රට තුළ ව්‍යාප්ත වූ නව කොරෝනා වසංගතය හේතුවෙන් එම මාසයේදී මෙම සමීක්ෂණය සිදු කිරීමට නොහැකි වූ බවත් නීල්සන් ආයතනය පවසයි.

එම ආයතනය පවසන ආකාරයට මෙම සමීක්ෂණය මූලිකවම ඉදිරි මාස 12ක කාලය කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන අතර, ඊට දායක කරගන්නා නියැදිය වෙත ප්‍රශ්න තුනක් ඉදිරිපත් කෙරේ. ඒ අනුව ඉදිරි මාස 12 දී  ශ්‍රී ලාංකිකයන් සඳහා වන රැකියා අපේක්ෂාව, තමන්ගේ පෞද්ගලික මූල්‍ය තත්ත්වය සහ තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීමේ හැකියාව පවතීවිද යනාදිය මෙහිදී ප්‍රශ්න කෙරේ.

එහිදි ඔවුන්ට ඉතා හොඳයි, හොඳයි, එතරම් හොඳ නැත සහ නරකයි ලෙස ප්‍රතිචාර ලබා දීමේ අවස්ථා හතරක් ලබා දෙයි.

ඒ අනුව දෙසැම්බර් මාසය සඳහා නිකුත් කෙරී ඇති මෙම පාරිභෝගික විශ්වාසය පිළිබඳ දර්ශකයේ සඳහන් ආකාරයට ඉදිරි මාස 12ක කාලය සඳහා ශ්‍රී ලාංකිකයන් සඳහා වන රැකියා අපේක්ෂාව හොඳ මට්ටමක පවතින බවට ප්‍රකාශ කර ඇත්තේ 6%ක් පමණකි. 48%ක් සහ 46%ක් පිළිවෙලින් එය එතරම් හොඳ නැති බවක් සහ නරක බවක් පවසා තිබේ.

එසේම දෙවැනි ප්‍රශ්නය ලෙස ඉදිරිපත් කෙරෙන ඉදිරි මාස 12දී ඔබගේ පෞද්ගලික මූල්‍ය තත්ත්වය කෙසේ වේවිද යන්න පිළිබඳ විමසීමේදී, මෙම නියැදියෙන් 92%ක්ම එය එතරම් හොඳ නැති සහ නරක බව පවසා තිබේ. නොවැම්බර් මාසයේදී  එය 91%ක් විය.

මීට අමතරව ඉදිරි මාස 12 දී ජනතාවට තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීමට හැකියාව ලැබේවිද? යනුවෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නය සඳහා හොඳයි ලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ 1%ක් පමණකි. ඉතිරි 99%ම පවසා ඇත්තේ එය එතරම් හොඳ නැති බව සහ නරක බවයි. මාර්තු මාසයේදී මෙම ප්‍රතිචාරය 97%ක් විය.

ඒ අනුව ඉදිරි මාස 12 තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීමට එතරම් යහපත් වාතාවරණයක් උදා නොකරනු ඇතැයි යන්න බහුතර පාරිභෝගිකයන්ගේ විශ්වාසය වී තිබෙන බව නීල්සන් ආයතනය සඳහන් කරයි.

Visits: 174