ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් අද සිට ‘SLT MOBITEL’ වෙයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම අද (2021 ජනවාරි 01) දිනයේ සිට ‘SLT MOBITEL’ ලෙස වෙනසකට ලක් කරන බව එම සමාගම පවසයි. ඒ අනුව මෙතෙක් භාවිත කළ SLT සන්නාමය වෙනුවට නව සන්නාමයක්ද හඳුන්වාදීම සිදුව තිබේ. එසේම ‘එකම එක සබැඳියාව’ ලෙස නව පාඨයක්ද ඊට එක් කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ (SLT) ස්ථාවර දුරකතන පාරිභෝගිකයන් සහ මොබිටෙල් සමාගමේ ජංගම දුරකතන පාරිභෝගිකයන් යන දෙපාර්ශ්වය උදෙසා වඩාත් පහසුවෙන් සේවා සැලසීම වෙනුවෙන් මෙම වෙනස සිදු කෙරෙන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පවසයි.

මෙය ‘බල’ සහ ‘වේග’ එක්වන ඓතිහාසික සන්ධිස්ථානයක් බවටත් එම සමාගම හඳුන්වාදී තිබේ.

ඒ අනුව “සියලු ශ්‍රී ලාංකිකයන්ට මින් පෙර අත් නොවිදි ඩිජිටල් සන්නිවේදන අත්දැකීමක් ලබා දෙමින්, ඔබේ ජීවිතයේ සහ වෘත්තියේ අපේක්ෂාවන් වඩා පහසුවෙන් සහ කාර්යක්ෂමව සපුරා ගන්නට අවකාශ සලසමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එකට එක් වී අලුත් ගමනක් අදින් අරඹයි” යනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සඳහන් කරයි.

මෙහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් වෙබ් අඩවිය ‘ස්ථාවර’ සබඳතා සඳහා පහසුකම් සැලසීමටත්, ශ්‍රී ලංකා ටෙලිකොම් වෙබ් අඩවිය ‘ජංගම’ දුරකතන සබඳතා සඳහා පහසුකම් සැලසීමටත් වන ලෙස වෙනස් කිරිමකටද ලක් කෙරී ඇත.

ඒ අනුව අද දිනයේ සිට ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ජාල දෙකෙහි සියලුම පාරිභෝගිකයන් SLT MOBITEL යන තනි දුරකතන සමාගමක පාරිභෝගිකයන් බවට පත්වන බවද පැවසෙයි.

Visits: 510