අගමැති මහින්ද ජෝන් කීල්ස් සමාගමේ Waterfront Integrated Resort වෙත යයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය මගින් කොළඹ 12, ජස්ටිස් අක්බාර් මාවතේ ඉදි කරමින් පවතින Waterfront Integrated Resort නිවාස සංකීර්ණයේ පළමු ගොඩනැගිල්ලේ මූලික වැඩ අවසන් කිරීම නිමිත්තෙන් ඊයේ දිනයේ එම පරිශ්‍රයේ පිරිත් දේශනාවක් පැවැත්වීම ට එම සමාගම කටයුතු යොදා තිබුණි.

මෙම පිරිත් දේශනාව සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආරාධනයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වූ බව අගමැති කාර්යාලය පවසයි. ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම පිරිත් දේශනාව සඳහා වැඩම කර තිබේ.

එහිදී අගමැතිවරයා එම ඉදිකිරීම නිරීක්ෂණයේද යෙදී ඇත. මෙම අවස්ථාව සඳහා ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, Waterfront Integrated Resort නිවාස සංකීර්ණයේ වාස්තු විද්‍යාඥ කිම් තේ හී මහත්වරු ඇතුළු ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ නියෝජිත පිරිසක් එක්ව තිබේ.

ගොඩනැගිලි 6කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ මූලික කටයුතු අවසන් කළ ගොඩනැගිල්ල මහල් 33 කින් සමන්විතය.

මහල් 47 කින් යුත් නිවාස සංකීර්ණ දෙකක්, සිනමාහල්, සාප්පු සංකීර්ණ හා ආපනශාලාවලින් සමන්විත මෙම නිවාස සංකීර්ණය සුඛෝපභෝගී  ජීවන රටාවකට අවශ්‍ය සියලු පහසුකම්වලින් මෙම පරිශ්‍රය සැදුම්ලත් බව ජෝන් කීල්ස් සමූහ සමාගම පවසයි.

Visits: 510