රු. 200ට විකිණීමට දේශීය ටින්මාලු සතොස මගින් රු. 198ට මිලදී ගනී

වෙළෙඳපොළේ ටින් මාළු මිල රුපියල් 200ක් දක්වා අඩු කිරීමට රජය ගත් තීරණයත් සමගම තම නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබා දෙන ලෙස දේශීය ටින් මාළු නිෂ්පාදකයන් කළ ඉල්ලීම අනුව ලංකා සතොස මගින් එම ටින් මාළු රුපියල් 198කට මිලදී ගැනීමට එකඟ වී ඇතැයි පවසයි.

පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු ජීවන වියදම් කමිටුවේ නිර්දේශ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මගින් මෙලෙස ටින් මාළු සඳහා රුපියල් 200ක මිලක් නියම කිරීමට තීරණය කෙරිණි.

එහෙත් දේශීය ටින්මාළු නිෂ්පාදකයන් හය දෙනෙකු මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා දැනුවත් කර ඇති අතර සාධරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ. ඊට ප්‍රතිචාර දක්වා ඇති අමාත්‍යවරයා එම කරුණ ජනපතිවරයා ඇතුළු පිරිස වෙත දන්වා ඇත.

එහිදී ජනපතිවරයා මෙරට නිෂ්පාදනය කෙරෙන ටින් මාළු රුපියල් 198ක මිලකට මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස පවසා ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.

විශේෂයෙන්ම රට තුළ පවතින තත්වය හමුවේ දේශීය කර්මාන්ත කරුවා රැකගැනීමේ අවශ්‍යතාවය මත විදේශයෙන් ගෙන්වන ටින්මාළු සීමා කිරීමට මේ හරහා අවස්ථාව සැලසෙන බවත්, මෙරට නිෂ්පාදනය කරන ටින්මාළු සතොස හරහා පාරිභෝගිකයන්ට රුපියල් 200ට ලබා දීමට කටයුතු කිරීමෙන් දේශීය නිෂ්පාදනයට සෙත සැලසෙනු ඇති බවත් ධීවර අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

Visits: 93