නිෂ්පාදන අංශයේ සමාගම් වෙත ආයෝජක ආකර්ෂණය ඉහළට

අද (ඔක්තෝබර් 16) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ආරම්භයේ සිටම ආයෝජකයන් තුළ හේලීස් සමූහයේ සහ බැංකු සමාගම් කොටස් සම්බන්ධයෙන් පැවැති ලාභ ඉපැයීමේ අවස්ථාවන් නිසා දර්ශක අගයන් ඉහළ යාමක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

එසේම දිනයේ පසු අවධියේදී එල්ඕඑල්සී සමාගම පෙන්නුම් කළ වටිනාකම් ඉහළ යාම් සමස්ත කොටස් මිල දර්ශකය ධනවීමට හේතු වී ඇත. මීට අමතරව නිෂ්පාදන අංශයේ සමාගම් තවදුරටත් ආයෝජකයන්ගේ වැඩි ආකර්ෂණය හිමි වූ සමාගම් ලෙස පැවති බවත් එම සමාගම් සඳහන් කරයි.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද දිනයේදී ඒකක 5,896.59 ත් ඒකක 5,897.67 ත් අතර අගයක විචලනයක් පෙන්වීය. එහිදී දිනය නිමා වනවිට එය ඒකක 5,968.24 ක් බවට පත්විය. ඒ අනුව ඊයේ (ඔක්තෝබර් 15) දිනයට සාපේක්ෂව එය ඒකක 25.79 ක් එනම් 0.44%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව සිදුවුණු වැලිබල් පවර් එරත්න පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, ටෝකියෝ සිමෙන්ට් ලංකා පීඑල්සී (ඡන්ද  හිමි කොටස්) සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ගනුදෙනු දෛනික පිරිවැටුම සඳහා 11% ක දායකත්වයක් ලබා දී තිබේ.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 106ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 97ක මිල ගණන් පහළ යාම සිදු විය.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී පීඑල්සී LOLC (+7.31), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (+5.28), සී.ටී. හෝල්ඩිංග්ස් පීඑල්සී CTHR (+4.77),  සිලෝන් කෝල්ඩ් ස්ටොර්ස් පීඑල්සී CCS (+4.34), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+3.59),  කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (-6.14), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-4.4),  ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-3.63),  වැලිබල් වන් පීඑල්සී VONE (-2.25)  සහ පිරාමාල් ග්ලාස් සිලෝන් පීඑල්සී GLAS (-1.96) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,370.43 ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 15) දිනයට සාපේක්ෂව ඒකක 4.29 ක එනම් 0.18%ක ඉහළ යාමකි.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.61ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක් 15දා) වාර්තා කළ රුපියල් බිලියන 3.47 ට සාපේක්ෂව 4%ක පහළ වැටීමකි. එහිදී විදේශීය ආයෝජකයන් තවදුරටත් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.59ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.23%ක අලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 63.3ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 95.72 ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 32.4 කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 43.87ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.86කි. එසේම ටෝකියෝ සිමෙන්ට් කම්පැනි ලංකා පීඑල්සී (ඡන්ද හිමි) විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 22.88ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 837ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 23% ක අගයක් ගෙන තිබේ. එසේම ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ සමාගම් අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 561ක සහ රුපියල් මිලියන 535ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 424