ඩයලොග් ෆිනෑන්ස්හි සභාපති ධුරයට රේණුකා ප්‍රනාන්දු

ඩයලොග් ෆිනෑන්ස්හි සභාපති ධුරයට රේණුකා ප්‍රනාන්දු

ඩයලොග් ආසියාටා සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ඩයලොග් ෆිනෑන්ස්හි නව සභාපතිනිය ලෙස රේණුකා ප්‍රනාන්දු මහත්මිය පත්කර ඇතැයි එම සමාගම පවසයි. ඒ අනුව ඇය ඩයලොග් ෆිනෑන්ස්හි ස්වාධීන නොවන, විධායක නොව අධ්‍යක්ෂවරියක ලෙස පත් කෙරී තිබේ.

මෙතෙක් එම ධුරය දැරූ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පසුගියදා එම ධුරයෙන් ඉවත් වීමත් සමගම මෙම නව පත් කිරීම සිදුව ඇත. 2020 මැයි 22 වැනිදා සිට මෙම නව පත් කිරීම බලාත්මක බවත්, ඒ පිළිබඳව මහ බැංකුව දැනුවත් කර ඇති බවත් ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා සිටියි.

පසුගිය අප්‍රේල් මාසයේදී ඇය ඩයලොග් සමාගම වෙත සම්බන්ධවී තිබේ. ඊට පෙර ඇය නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ (NTB ) අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස 2012 වසරේ සිට 2020 දක්වා සම්බන්ධ වී ඇත. එම බැංකුව අද පවතින තත්ත්වය වෙත ගෙන ඒමට ඇය වඩා වැඩි දායකත්වයක් ලබා දුන් බවද සඳහන් වෙයි. ඇය NTB බැංකුවේ සේවය කරන කාලය තුළදී නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරිනිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනිය – සිල්ලර සහ පාරිභෝගික බැංකු සහ සහකාර සාමාන්‍යාධිකාරි – සමාගම් මූල්‍ය විසඳුම් ලෙස කටයුතු කර ඇත.

ඇය NTB බැංකුව හා සම්බන්ධවීමට පෙරාතුව ඇය විදෙස් බැංකු කිහිපයකම ප්‍රධාන ධුර හොබවා ඇත. එසේම ඇය මීට පෙර ඇමෙරිකානු වාණිජ මණ්ඩලයේ උප සභාපතිනිය ලෙසත්, ලංකා ක්ලියර් (පෞද්) සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙසත්, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සභාපතිනිය ලෙසත් ධුර දරා ඇත.

රේණුකා ප්‍රනාන්දු මහත්මිය බ්‍රිතාන්‍යයේ බැංකුකරුවන්ගේ වරලත් ආයතනයේ සාමාජිකාවකද වෙයි. එසේම ඇය හාර්වර්ඩ් බිස්නස් ස්කූල්හි උසස් කළමනාකරණ වැඩසටහනේ උපාධිධාරිනියකද වෙයි.

ප්‍රනාන්දු මහත්මිය මේ වනවිට ඩයලොග් ආසිආටා පීඑල්සීහි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනිය ලෙස කටයුතු කරයි. ඇය සතුව වසර 39කට අධික කාලයක් පුරා වන බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් මෙන්ම ඩිජිටල් බැංකුකරණය සමගින් වන බැංකුකරණයේ වර්ධනය සහ සංවර්ධනය පිළිබඳව වැඩි අවධානයක් පවතින බවත් ඩයලොග් ෆිනෑන්ස් සමාගම සඳහන් කරයි.

ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමක් ලෙස ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පිහිටුවා ඇත.  එහි කොටස් අතරින් ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම සතුව ඇති කොටස් 90,309,767ක් එනම් 98.88෴ ප්‍රතිශතයක් එහි සභාපති ධුරය වෙත පත්ව එන තැනැත්තා වෙත හිමි වෙයි. ඒ අනුව නව සභාපතිනිය ලෙස පත් ව ආ රේණුකා ප්‍රනාන්දු මහත්මිය වෙත සමාගම වෙනුවෙන් එම කොටස් හිමි බව ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී පවසයි.

2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත අනුව ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ලෙස ලියාපදිංචි කර තිබේ.

Visits: 27