Access සැමගේ රැකියා ආරක්ෂාවට සැමගේම වැටුප් කපලා

Access සැමගේ රැකියා ආරක්ෂාවට සැමගේම වැටුප් කපලා

කොවිඩ්-19 වසංගතය සමගින්ම රට තුළ පැනවුණු ඇඳිරිනීති සීමා මෙන්ම විදේශ විනිමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ගෙන ආ ක්‍රියාමාර්ග හේතුවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත බාධා එල්ල 2,700ක් වන තම සේවකයන්ගේ රැකියා සුරක්ෂිත භාවය සහතික කිරීමට කළමනාකාරීත්වය කටයුතු කළ බව ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී (Access Engineering PLC) සමාගම පවසයි.

ඒ අනුව සිය කළමනාකාරීත්වයේ තීරණයකට අනුව සිදුකළ සියලුම මට්ටමේ සේවකයන්ගේ වැටුප් තාවකාලිකව කප්පාදු කිරීමක් හරහා මෙම බලපෑම අවම කරගැනීමට කටයුතු කළ බව සමාගම සඳහන් කරයි. ඒ හරහා වර්තමාන අර්බුදය කළමනාකරණය කරමින් සියලුම සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම අරමුණ වූ බවත් ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම අවධාරණය කර තිබේ.

කොවිඩ්-19 වසංගතයේ බලපෑම හේතුවෙන් සිය ව්‍යාපාර මෙහෙයුම් වෙත සිදුව ඇති බලපෑම පැහැදිලි කරන ලෙස කොළඹ කොටස් වෙළෙඳපොළ සිය ලැයිස්තුගත සමාගම් වෙතින් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඇක්සස් සමාගම මෙම කරුණු අනාවරණය කර තිබේ.

“අප සමාගම ප්‍රධානවම ඉදිකිරීම් මෙන්ම ඉදිකිරීම් හා සම්බන්ධ ද්‍රව්‍ය නිෂ්පාදනයේ යෙදෙන සමාගමක්. මේ වසංගත තත්ත්වයත් සමගම රජය මාර්තු මාසයේ සිට මැයි මාසය දක්වා පැනවූ දීපව්‍යාප්ත ඇඳිරිනීති තත්ත්වය අප සමාගම සිදු කරගෙන ආ ව්‍යාපෘති තාවකාලිකව නවත්වා දැමීමට සිදුවුණා. කොහොම නමුත් ඇතැම් ව්‍යාපෘති කිහිපයක්ම අප්‍රේල් මාසය අවසන් වන විට යළිත් ආරම්භ කර පවත්වාගෙන යන්න අපට හැකි වුණා. ඒ වගේම මැයි මාසය ආරම්භ වන විට අප සිදු කරගෙන ආ ව්‍යාපෘති සහ නිෂ්පාදන කර්මාන්තශාලා අතරින් වැඩිමනක කටයුතු යළි ආරම්භ කරන්න හැකි වුණා.” සමාගම සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙලෙස සිය මෙහෙයුම් වෙත එල්ල වූ තාවකාලික බාධාවත් සමගින්ම 2020/2021 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළදී සිය සමාගම වෙත ඍණාත්මක බලපෑමක් එල්ල වන බව ඔවුන් බලාපොරොත්තු තබා සිටියි. එහෙත් සමාගමේ වියදම් අඩුකරමින් මෙම ඍණාත්මක බලපෑම හැකි පමණින් අවම කරගැනීම සඳහා කටයුතු යොදන බව සමාගම පවසයි.

“අද නවිට අප සමාගම සතුව කාර්ය මණ්ඩල සාමාජිකයන් 1,800 ක් සහ කම්කරුවන් 900 දෙනෙකු සිටිනවා. ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය කළමනාකරණය විසින් දැනටමත් තහවුරු කරලයි තියෙන්නේ. එතැනදී කළමනාකරණය තීරණය කර තිබෙනවා සෑම මට්ටමක සේවකයන්ගේ වැටුප් තාවකාලිකව සංශෝධනය කරන්නට. ඒ හරහා මේ කොවිඩ්19 ආපදාවෙන් එල්ල වී ඇති බලපෑම කළමනාකරණය කරමින් සියලුම සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරගන්නට අපට හැකි වේවි.”

මේ අතර දැනට සමාගම මගින් සිදු කරගෙන යන ප්‍රධාන ව්‍යාපෘති සඳහා වන අරමුදල් සැපයීමත් දේශීය බැංකු, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අරමුදල් සම්පාදනයන්  හරහාත් වඩාත් සුරක්ෂිතව පවතින බව ඇක්සස් ඉන්ජිනියරින් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දන්වා තිබේ. ඒ අනුව සිය සැපයුම්කරුවන්ට සිදුකරන ගෙවීම් සහ ණය සඳහා වන බැඳීම් සම්පූර්ණ කිරීමට දරුණු මුදල් ප්‍රවාහයේ පීඩාවක් බලාපොරොත්තු නොවන බවත් සමාගම සඳහන් කරයි.

“සමාගමේ මෙහෙයුම් වෙත අවශ්‍ය කරන ප්‍රධානම අමුද්‍රව්‍ය වන්නේ වැලි, ලෝහ සහ සිමෙන්තියි. මේ සියල්ලම මූලිකවම සමාගම හා අනෝන්‍ය සබඳතාවක් පවතින දේශීය සැපයුම්කරුවන්ගෙන් වැඩි වශයෙන් ලබා ගැනීමක් සිදු කරනවා. එසේම ගල්තාර (ඇස්ෆල්ට්) කොන්ක්‍රීට්, රෙඩිමික්ස් කොන්ක්‍රීට් වැනි සමාගම මගින් නිපදවන අමුද්‍රව්‍යවල නිෂ්පාදන අභ්‍යන්තර සහ බාහිර වෙළෙඳ පොළ ඉල්ලුම් සම්පූර්ණ කිරීමට හැකි ලෙස ක්‍රියාත්මකව පවතිනවා. එහෙත් නෞකා ගමන්හි සිදුවූ පමාවන් සහ වරායන්හි මෙහෙයුම් සීමා සහිත වීම නිසා ආනයනය කෙරෙන අමුද්‍රව්‍ය අවශ්‍යතාවන් පමාවීමක් සිදුව තිබෙනවා.” සමාගම පවසයි.

කෙසේ වෙතත් කෙටිකාලීනව මෙලෙස පහත වැටීමක් පෙන්නුම් කළද කිසිදු පමාවකින් තොරව හැකි ඉක්මණින්ම යළිත් පෙර පැවැති තත්ත්වයට පත්වීමට සමාගම කටයුතු කරන බවත් ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී සමාගම කොටස් වෙළෙඳ පොළ වෙත සහ සිය කොටස් හිමිකරුවන් වෙත දන්වා තිබේ. එහිදී දැනටමත් ගිවිසුම් අත්සන් තබා ඇති ව්‍යාපෘති ඉදිරි වසර 2-3 කාලය තුළදී කිසිදු ගැටලුවකින් තොරව පවත්වාගෙන යන බවත් සමාගම සඳහන් කර සිටියි.

Visits: 25