ප්‍රදානය සඳහා ගෙන්වන සෞඛ්‍ය උපාංග බද්දෙන් නිදහස්

ප්‍රදානය සඳහා ගෙන්වන සෞඛ්‍ය උපාංග බද්දෙන් නිදහස්

කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා රජයට ප්‍රදානය කිරීම සඳහා ආනයනය කෙරෙන සෞඛ්‍ය උපකරණ හා උපාංග බදුවලින් නිදහස් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සහනය මේ වසරේ දෙසැම්බර් 31 දක්වා හිමිවන අතර, ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගතව ඇති කර්මාන්තකරුවන්ටද මෙම සහනය ලැබෙන බව එම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මීට අදාළ කැබිනට් පත්‍රිකාවක්ද කැබිනට් මණ්ඩලයේදී අනුමත වී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය වෙත ලබා දීම සඳහා කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ලබා දීම සඳහා මෙලෙස ගෙන්වනු ලබන සෞඛ්‍ය උපකරණ හා උපාංග සියලුම  බදුවලින් නිදහස් කිරීමට නියමිතව ඇත.

“මෙම උපකරණ හා උපාංග ගෙන්වීමේදී රේගු බදු හා ගුවන් තොටුපොළ සංවර්ධන බද්ද, සෙස් හා වැට් බදු ඇතුළු සියලු බදු වලින් නිදහස් වෙයි.” අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබේ.

මුදල් අමාත්‍යවරයා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කැබිනට් පත්‍රිකාව ඇමති මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. එම කැබිනට් පත්‍රිකාව අනුව සැකසුණු ගැසට් නිවේදනයට තමන් පසුගිය සතියේ අත්සන් තැබූ බවද අමාත්‍යවරයා පවසා සිටියි.

දැනටමත් මෙරට ප්‍රධාන පෙළේ සමාගම් රැසක්ම කොවිඩ්-19 පාලනය සඳහා අවශ්‍ය වන මෙවැනි සෞඛ්‍ය උපකරණ හා උපාංග රැසක්ම ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇත. ඒ අතරින් මෙරට මුල් පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකු වන ධම්මික පෙරේරා මෙන්ම හැරී ජයවර්ධන  යන මහත්වරුන් මීට පෙර මෙම උපාංග ගෙන්වීම සඳහා රුපියල් මිලියන ගණනක මුදලක් ලබා දී ඇත.

Visits: 12