ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි පවසයි. අද දිනයේදී පැවැති මහ බැංකුවෙහි මුදල් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100කින් ඉහළ දැමීමට මෙහිදී තීරණය වී ඇත.

ඒ අනුව මෙතෙක් 14.50%ක්ව පැවැති නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 15.50%ක් දක්වාත්, 15.50%ක්ව පැවැති නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.50%ක් දක්වාත් ඉහළ දැමීමට මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

විශේෂයෙන්ම රට තුළ පවතින අතිශය ඉහළ අද්ධමන තත්ත්වය සහ උද්ධමන පුරෝකතන සම්බන්ධයෙන් පවතින අස්ථාවර වටපිටාව සම්බන්ධයෙන් සහ ආසන්න කාල පුරෝකතන පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව මහ බැංකුව සඳහන් කරයි.

මෙම පසුබිමත් සමගින්ම මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූලය අරමුදලේ කාර්ය මණ්ඩලය තවදුරටත් එකඟතා වෙත පිවිසෙමින් සිටින බවත් මහ බැංකුව පවසා සිටියි.

කෙසේ වෙතත් උද්ධමන පුරෝකතනය පිළිබඳව මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අතර ඇතැම් වෙනස්කම් පවතින බවත් මහ බැංකුව පවසයි.

මෙම මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන මාධ්‍ය හමුව මෙම අවස්ථාවේදී මහ බැංකුවේදී පැවැත්වෙයි.

Visits: 159