අලුතින් ගැසට් කෙරුණු තාක්ෂණ හා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට ආයතන 15ක් වෙන් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලතල අනුව අලුතින් පිහිටුවෙන තාක්ෂණ හා ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 15ක් ගැසට් කර ඇතැයි රජය පවසයි. අද (ජූනි 10) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව වෙනස් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොවිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතන ඊට අයත්ය.

මෙම ආයතන මීට පෙර ජනාධිපතිවරයා යටතේ පැවැති රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබුණි.

එසේම කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ලිමිටඩ්, ටෙක්නෝ පාක් ඩිවලොප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, තොරතුරු තාක්ෂණ උද්‍යාන (යාපනය සහ මන්නාරම), කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මෙම ආයතන වෙයි.

මෙම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස බොහෝ දුරට මෙරට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කෙරෙනු ඇතැයි අදහස වී තිබේ.

Visits: 196