ධම්මික පෙරේරා තමන් දැරූ සියලු ලැයිස්තුගත සමාගම් ධුරවලින් ඉවත් වෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා තමන් සභාපති ධුර සහ අධ්‍යක්ෂ මණ්ඩල ධුර දැරූ සියලුම ලැයිස්තුගත සමාගම්වලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි පවසයි.

එම සමාගම් විසින් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපි මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

රජය මගින් පිරිනැමීමට නියමිතව ඇති තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය භාර ගැනීමේ අරමුණින් ධම්මික පෙරේරා මහතා මෙලෙස එම තනතුරුවලින් ඉවත්විම ප්‍රකාශයට පත් කර තිබේ. අද (ජූනි 10) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්විම් සිදුව තිබේ.

ඒ අනුව ධම්මික පෙරේරා මහතා සභාපති ධුර දැරූ The Fortress Resorts PLC සමාගමෙන්, වැලිබල් පවර් එරත්න පීඑල්සී සමාගමෙන්, වැලිබල් වන් පීඑල්සී සමාගමෙන්, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී සමාගමෙන්, ලංකා ටයිල්ස් පීඑල්සී සහ ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී සමාගමෙන් මෙලෙස ඉවත්ව තිබේ.

එසේම ඒ මහතා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ හොරණ ප්ලාන්ටේෂන්ස් පීඑල්සී, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, හේලීස් පීඑල්සී, හේලීස් ලෙෂර් පීඑල්සී, ද කිංග්ස්බරි පීඑල්සී, වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී, එල්බී ෆිනෑන්ස් සහ හේකාර්බ් පීඑල්සී යන සමාගම්වලින්ද ඒ මහතා ඉවත්ව තිබේ.  

මෙලෙස අධ්‍යක්ෂ මණ්ඩල ධුරවලින් ඉවත් වූ සමාගම් අතරින් කිංග්ස්බරි පීඑල්සී සමාගම තුළ ධම්මික පෙරේරා මහතා සතුව කොටස් 6,432,292ක්ද, හේලීස් ලෙෂර් සමාගම තුළ කොටස් 1,006,422ක්ද, හේලීස් පීඑල්සී තුළ කොටස් 382,613,630ක්ද, සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී තුළ කොටස් 20,807,739ක්ද, හේලීස් ෆැබ්රික් පීඑල්සී තුළ කොටස් 8,180ක්ද, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී තුළ කොටස් 10,000ක්ද ඇතැයි සඳහන් වෙයි.

මේ අතර, සභාපති ධුරවලින් ඉවත් වූ සමාගම් තුළද ධම්මික පෙරේරා මහතා සතුව කොටස් පවතින බව සඳහන් වෙයි. ඒ අනුව ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී තුළ කොටස් 148,921,090ක්, රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී තුළ කොටස් 2,007,720ක් සහ වැලිබල් වන් පීඑල්සී සමාගම හරහා කොටස් 620,026,000ක් ලෙසද පවතී. එසේම වැලිබල් වන් පීඑල්සී සමාගම තුළ කොටස් 722,966,300ක් සහ වැලිබල් ඉන්වෙස්ට්මන්ට් (පෞද්) සමාගම හරහා තවත් කොටස් 96,398,569ක්ද ඒ මහතා සතුය. වැලිබල් පවර් එරත්න පීඑල්සී සමාගම තුළ කොටස් 144,812,225ක් සහ වැලිබල් පවර් ලිමිටඩ් හරහා කොටස් 299,425,830ක්ද ඒ මහතා සතුය.

මේ සියල්ලටම අමතරව The Fortress Resort PLC සමාගම තුළ ධම්මික පෙරේරා මහතා සතුව කොටස් 10,329,317ක් පවතී. එසේම වැලිබල් ලෙෂර් (පෞද්) සමාගම හරහා කොටස් 24,417,392ක්, වැලිබල් වන් පීඑල්සී හරහා කොටස් 20,618,257ක්, එල්බී ෆිනෑන්ස් පීඑල්සී හරහා කොටස් 4,051,100ක් සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී හරහා කොටස් 336,100ක් ලෙස එම සමාගම තුළ කොටස් හිමිකාරීත්වයක්ද ධම්මික පෙරේරා මහතා සතුය.

මේ අතර ධම්මික පෙරේරා මහතාගේ ඉවත්වීමත් සමගින්ම ඒ මහතා වෙනුවෙන් ඉහත සඳහන් සමාගම්වල ආදේශක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළ කෞෂි අමරසිංහ මහත්මියගේ ධුරයද අද (10දා) සිට අහෝසි වන බවත් එම සමාගම් දැනුම් දී සිටියි.

ධම්මික පෙරේරා මහතා වෙත පිරිනැමිමට සූදානම් කොට ඇති මෙම තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට මෙරට ප්‍රධානතම ආයතන 15ක්ද ලැයිස්තුගත කර තිබේ.

Visits: 291