මහාචාර්ය ඒ.කේ.ඩබ්ලිව්. ජයවර්ධන කොමර්ෂල් බැංකුවේ සභාපති ධූරයට

කොමර්ෂල් බැංකුව සිය නව සභාපතිවරයා ලෙස මෙරට ප‍්‍රමුඛතම විද්වතෙක් වන මහාචාර්ය ඒ.කේ.ඩබ්ලිව්. ජයවර්ධන මහතා පත් කරගත් බව පවසයි. 2022 මාර්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරිම බලාත්මක වී තිබේ. එසේම බැංකුවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුහ්සීන් මහතා පත්කර තිබේ.

මහාචාර්ය ජයවර්ධන මීට පෙර කොමර්ෂල් බැංකුවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය. මෙතෙක් සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු අග විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා එම තනතුරෙන් විශ‍්‍රාම යාම හේතුවෙන් මහාචාර්ය ජයවර්ධන මහතා සභාපතිවරයා ලෙස පත්වීම් ලැබ තිබේ. ඒ අනුව උප සභාපති ධූරයේ ඇතිවූ පුරප්පාඩුව සඳහා මුහ්සීන් මහතා තෝරා පත්කර ගත් බව බැංකුව සඳහන් කරයි.

ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවණීය ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු මෙන්ම අධ්‍යන පරිපාලකයෙකු වූ මහාචාර්ය ජයවර්ධන මහතා 2015 අපේ‍්‍රල් මාසයේ සිට කොමර්ෂල් බැංකුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු මෙන්ම 2020 දෙසැම්බර් 29 වනදා සිට නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කරන ලදී.

ඔහු මේ වනවිට කොමර්ෂල් බැංකුවට අනුබද්ධ සමාගමක් වන CBC ටෙක් සොයුලියුෂන් හි, සභාපතිවරයා ලෙසත් අධ්‍යක්ෂ මණ්ඩලයේ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.  

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සාමාජිකයෙකු සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය ජයවර්ධන මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස වසර 06 ක කාලයක් සහ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙස වසර 06 ක කාලයක් මෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්ව අංශයේ මහාචාර්යවරයෙකු ලෙස වසරක කාලයක් සේවය කර තිබේ. මීට අමතරව, මහාචාර්ය ජයවර්ධන මහතා ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වසර දෙකක කාලයක් කටයුතු කර ඇත. 

ජ්‍යෙෂ්ඨ ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුහ්සීන් මහතා ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කරගැනීම්, ආයතනික මූල්‍යනය සහ ප‍්‍රාග්ධන වෙළෙඳපොළවල් යන අංශ  සම්බන්ධයෙන් පුළුල් අත්දැකීමක් සහිත බැංකුකරුවෙකු වේ. ඔහු ආසියාවේ මූල්‍ය ආයතන කිහිපයකම උපාය මාර්ගික ආයතනික න්‍යාය පත‍්‍රයන් සහ මාර්ගගත සිතියම් ක‍්‍රියාත්මක කිරීමට සහයෝගය දක්වමින් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලවල සහ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායම්වල ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහු මීට පෙර Credit Suisse, Bank of America Merrill Lynch සහ JP Morgan යන ගෝලීය ආයෝජන බැංකුවල ප‍්‍රමුඛතම වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත. මීට අමතරව, ඔහු Deloitte හි, සහකාර අධ්‍යක්ෂවරයා ලෙසද සේවය කර තිබේ.

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගෙන තිබෙන අතර වෙස්ටර්න් මිචිගන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාරික පරිපාලනය (ගෞරව) පිළිබඳ මූලික උපාධිය ලබාගෙන තිබේ. එසේම, නිව්යෝර්ක් හි, JP Morgan සමග ආයතනික මූල්‍යනය පිළිබඳ පුහුණු වැඩසටහනක්ද ඔහු විසින් සම්පූර්ණ කර ඇත.

Visits: 133