රටේ ආර්ථිකය ගැන ජනතා විශ්වාසය ඍණ 83%යි – වෙරිටේ රිසර්ච් කියයි

මෙරට ක්‍රියාත්මක මුල් පෙළේ සමාජ ආර්ථික පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය Mood of the Nation නමින් මෙරට තුළ ප්‍රථම වරට ජනමත සමීක්ෂණයක් සිදු කළ බව පවසයි.

මෙය එක්සත් ජනපදයේදී නිතුපතා සිදු කෙරෙන Mood of the Nation ජනමත විමසුම ආදර්ශයට ගනිමින් ඒ සඳහා යොදා ගන්නා ගැලප් (Gallup) ක්‍රමවේදය අනුව සිදු කරවූවකි. ගැලප් (Gallup) යනු ජනමත විමසුම් සිදුකිරීමේ විෂයෙහි ලෝකයේ වඩාත්ම කීර්තිමත් සංවිධානයකි.

ඒ අනුව Mood of the Nation හි ජනමත විමසුම සිදුකෙරෙන ආකාරය සහ එයට ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට ගලපා ගැනීම හරහා ශ්‍රී ලංකා ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගැනිමට වෙරිටේ රිසර්ච් මෙහිදී උත්සාහයක් ගෙන තිබේ.

‘රට හිතන හැටි’ යන මැයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය පසුගියදා එම ආයතනය සිය ජනමත විමසුමේ ප්‍රතිපල එලිදැක්වීමට පියවර ගෙන ඇත.

මෙම මත විමසුමෙන් රජය, රට සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනතාවගේ අනුමැතිය, තෘප්තිය සහ විශ්වාසය තක්සේරු කරයි. මෙය වෙරිටේ රිසර්ච්, නව ඒකාබද්ධ සමීක්ෂණ වැඩපිළිවෙලක් (syndicated survey instrument) දියත් කිරීම සනිටුහන් කරන අතර මෙම කර්තව්‍යයට අත්වැල් බැදගෙන සිටින්නේ වෑන්ගාර්ඩ් සර්වේ ආයතනයයි. අනෙකුත් පාර්ශවකරුවන්ට ද ඔවුන්ගේ ප්‍රශ්න එකතු කළ හැකිවීම මෙහි තිබෙන විශේෂත්වය යි.

ජනමත විමසුමේ දී, යොමු කෙරුණු ප්‍රශ්න සහ ඒ්වාට ලැබුණු පිළිතුරුවල ප්‍රතිශතමය අගයන් පහත දැක්වේ.

  1. රජය ගැන අනුමැතිය – 10%
    1. වත්මන් රජය වැඩකරන ආකාරය ඔබ අනුමත කරනවා ද? නැති ද? යන ප්‍රශ්නයට, අනුමත කරමි යන පිළිතුර ලබාදුන්නේ 10%ක් පමණි.
  2. රට ගැන තෘප්තිය – 6% 
    1. පොදුවේ ගත් විට, මේ මොහොතේ ශ්‍රී ලංකාවේ දේවල් සිදුවෙමින් පවතින ආකාරය ගැන ඔබ සෑහීමට පත්වනවා ද? නැති ද? යන ප්‍රශ්නයට, සෑහීමට පත්වෙමි යන පිළිතුර ලබාදුන්නේ 6%ක් පමණි.
  3. ආර්ථිකය පිළිබඳ විශ්වාසය සෘණ (-) 82.96 
    1. ආර්ථික තත්ත්වය ගැන විශ්වාසය ජනනය කිරීම සඳහා අද රටේ පවතින ආර්ථික තත්ත්වයන් සහ එහි ගමන් පථය පිළිබඳ බහුවරණ ප්‍රශ්න භාවිතා විය. ලකුණු ඍණ (-) 100 සිට ධන (+) 100 දක්වා පරාසයක පැවතීය. මෙහි බිංදුවට වඩා වැඩි අගයක් යනු බොහෝ මිනිසුන් ආර්ථික තත්ත්වයන් සෘණාත්මකව දකිනවාට වඩා ධනාත්මකව දකින බවය. ආර්ථිකය විශිෂ්ට හෝ හොඳ තත්ත්වයක පවතින බව සහ එය හොඳ අතට හැරෙමින් පවතින බව සියලු දෙනා සිතන්නේ නම්, ලකුණු ධන (+) 100 ලෙස සටහන් වන අතර, ආර්ථිකය දුර්වල මට්ටමක පවතින සහ එය නරක අතට හැරෙන බව සියලු දෙනා සිතන්නේ නම්, ලකුණු ඍණ (-) 100 අගයක් වේ. ලකුණු ප්‍රමාණය සෘණ (-) 83ක් වන්නේ ආර්ථිකය දුර්වල තත්ත්වයක ඇතැයි සිතූ අයගේ සහ නරක අතට හැරේ යැයි සිතූ අයගේ සාමාන්‍යය 83%ක් වූ බැවිනි.

වෙරිටේ රිසර්ච් ආයතනය පවසන ආකාරයට මෙම ‘රට හිතන හැටි’ ජනමත විමසුම සඳහා පදනම් වී ඇත්තේ 2022 ජනවාරි මාසයේ දී, ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,021 දෙනෙකුගේ දිවයින පුරා ජාතික වශයෙන් නියෝජනය වන ප්‍රතිචාර නියැදියක් මතයි. නියැදිය සහ ක්‍රමවේදය සැලසුම් කර ඇත්තේ 95% විශ්වාසනීය පරතරයකදී 3%ට අඩු උපරිම දෝෂ ආන්තිකය සහතික කිරීම සඳහා ය.

Visits: 155