ආර්ථිකය යහපත්ව පවත්වාගෙන යාමට මහ බැංකුවෙන් ප්‍රතිපත්ති මාලාවක්

රටට එල්ල වන බාහිර කම්පනවල දැඩි බව සහ ඉන් දේශීය ආර්ථික කටයුතු සඳහා ඇති වන අඛණ්ඩ බාධා සැලකිල්ලට ගනිමින්, එවැනි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සාම්ප්‍රදායික සහ සාම්ප්‍රදායික නොවන ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රතිපත්ති මාලාවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය මාර්තු 03 වැනිදා පැවැති මහ බැංකුවෙහි මුදල් මණ්ඩල හමුවේදී ඒ පිළිබඳව සාකච්ඡා කෙරී තිබේ. එසේම සමස්ත ආර්ථිකයට බලපානු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවද එම මණ්ඩලයේ අදහස වී ඇත.

ඒ අනුව මෙම මණ්ඩලයේ තීරණයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100ක් බැගින් පිළිවෙලින් 6.50%ක් සහ 7.50%ක් දක්වා ඉහළ නැංවීම සිදුවිය.

මිට අමතරව පොලී අනුපාතික මත පනවා ඇති උපරිම සීමා, එනම් ණය කාඩ්පත් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව 20%ක් දක්වාත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත උපරිම පොළී අනුපාතිකය වාර්ෂිකව 18%ක් දක්වාත්, උකස් පහසුකම් මත උපරිම පොළී අනුපාතිකය වාර්ෂිකව 12%ක් දක්වාත් ඉහළ නැංවීමට මහ බැංකුව උපදෙස් ලබා දී ඇත.

“ඉහත ක්‍රියාමාර්ග මගින් ආර්ථිකයේ ඇති විය හැකි යටිදැරි ඉල්ලුම් පීඩනය ගොඩනැගීම පාලනය කෙරෙනු ඇතැයි මුදල් මණ්ඩලයේ අදහස වී ඇති අතර, එමගින් විදේශීය අංශයේ පීඩන ලිහිල් කිරීමටද සහාය වෙමින් ඉහළ ඉහළ ආර්ථික ස්ථායිතාව ප්‍රවර්ධනය කරනු ඇත.” මහ බැංකුව පවසයි.

මීට අමතරව රජයේ ආර්ථික හා මූල්‍ය උපදේශක ලෙස‍, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරුණු කිහිපයක් කඩිනමින් සලකා බලන ලෙසද රජයෙන් ඉල්ලා සිටින බවත් පවසයි.

ඒ අනුව සිය නිර්දේශ අනුව මත පදනම්ව අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන අධෛර්යමත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම, පිරිවැය පිළිබිඹු කිරිම සඳහා කඩිනමින් ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම, විදේශ ප්‍රේෂණ සහ ආයෝජන තවදුරටත් දිරිගැන්වීම, පුනර්ජනනීය ශක්තිය කරා කඩිනමින් යොමුවන අතරම, බලශක්ති සංර්කෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම යනාදිය ඒ අතර වෙයි.

එසේම තිරසාර පදනමක් මත සුදුසු බදු වැඩි කිරීම් හරහා රජයෙ ආදායම් ඉහළ නැංවීම, කඩිනමින් විදේශ මූල්‍යන සහ ණය නොවන විදේශ විනිමය ලබා ගැනීම, උපායමාර්ගික නොවන සහ ඌන උපයෝගී වත්කම් කඩිනමින් අලෙවි කිරීම සහ අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන ප්‍රාග්ධන ව්‍යාපෘති කල් දැමීම යනාදියත් එම කරුණු අතර පවතී.

“ඉහත ක්‍රියාමාර්ග රට මුහුණ දී සිටින අභියෝගාත්මක ආර්ථික තත්ත්වයෙන් මිදීම සඳහා සහ කොවිඩි වසංගතය ආශ්‍රිතව ගනු ලැබූ ප්‍රතිපත්ති ලිහිල් කිරීම්වලින් ඉවත්වීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරිමට සහතික වනු ඇත.” යනුවෙන්ද මහ බැංකුව පවසයි.

Visits: 142