LOLC සමූහයට PAK OMAN Microfinance බැංකුව සම්පූර්ණයෙන්ම මිලදී ගැනීමට අවසරය

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගමක් වන LOLC Asia Private Limited සමාගම (LOLC Asia) වෙත පාකිස්තානයේ PAK OMAN Microfinance BANK හි කොටස් හිමිකාරීත්වය ඉහළ නංවා ගැනීම සඳහා පාකිස්තාන මහ බැංකුවෙහි (State Bank of Pakistan) අනුමැතිය ලබා දී ඇතැයි පවසයි.

ඒ අනුව PAK OMAN Microfinance BANK හි අනෙකුත් කොටස් හිමිකරුවෙන්ගෙන් කොටස් මිලදී ගනිමින් එම කොටස් හිමිකාරීත්වය 100%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අවස්ථාව ලබා දීමට පාකිස්තාන මහ බැංකුව මෙහිදී කටයුතු කර ඇතැයි සඳහන් වෙයි.

“සිංගප්පූරුවෙහි ලියාපදිංචි කර ඇති LOLC ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් (LOLC Asia) සමාගම LOLC සමූහයෙහි ආසියාව තුළ සිදු කරන මූල්‍යමය සේවා ආයෝජනයන්හි ආයෝජක සමාගම ලෙස ක්‍රියා කරයි. 2017 වසරේදී LOLC Asia (මීට පෙර LOLC Private Limited) සමාගම මගින් PAK OMAN Microfinance BANK හි 50.1%ක කොටස් හිමිකාරීත්වයක් අත්පත් කරගත්තා.” LOLC සමූහය පවසයි.

ඒ අනුව PAK OMAN Microfinance BANK හි ඉතිරි 49.9%ක කොටස් හිමිකාරීත්වයත් අත්පත් කරගැනීම සඳහා LOLC Asia වෙත පාකිස්තාන මහ බැංකුව විසින් අනුමැතිය ලබා දී තිබේ. මෙහිදී දැනට එම කොටස් හිමිකම සහිත සමාගම්වලින් පාකිස්තාන රුපියල් බිලියන 1.2 කට (1,209,411,000කට) එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 7කට එම කොටස් මිලදී ගෙන PAK OMAN Microfinance BANK හි හිමිකාරීත්වය 100%ක් LOLC වෙත අත්පත් කරගැනීමට අවස්ථාව පවතින බවත් සඳහන් කර තිබේ.

අද වනවිට පාකිස්තානයේ සමස්ත ජනගහනය මිලියන 221ක් වන අතර, එරට ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් 1,194 කි. එරට තුළ LOLC සමූහයේ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ මූල්‍ය අංශ සම්බන්ධයෙන් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන බවත්, ව්‍යවසායක්තව පිරමීඩයේ පහළින්ම සිටින කොටස වෙත සේවා සම්පාදනයට විශේෂඥතාවක් සහිත බවත් පවසයි. අද වනවිට PAK OMAN Microfinance BANK සතුව එරට පුරා විහිදුනු ශාඛා 71ක ජාලයක් පවතී.

LOLC සමූහයක් අද වනවිට ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ මූල්‍ය සේවා අංශය යටතේ ශ්‍රී ලංකාව, කාම්බෝජය, මියන්මාරය, පාකිස්තානය, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන ආසියානු රටවලද, නයිජීරියාව, සැම්බියාව, ටැන්සානියාව, මලාවි යන අප්‍රිකානු රටවලද සිය මෙහෙයුම් සිදු කරයි. එසේම මධ්‍යම ආසියාවේ ටජිකිස්තානය වෙතත් එම සමාගම සිය මෙහෙයුම් ව්‍යාප්ත කර තිබේ.

Visits: 927