ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහනේ කථික තරගයේදී දක්ෂතා රැසක් එළිදකී

ජෝන් කීල්ස් ඉංග්‍රීසි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පවත්වන ලද මාර්ගගත කථික තරගය 2021 අගෝස්තු මස 17 වන දින සාර්ථක ලෙස අවසන් වූ බව පවසයි. මෙහි මූලික වටයට බේරුවල, කොළඹ, මහනුවර, ගාල්ල, රජවැල්ල, රත්මලාන, සූරියවැව, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන ප්‍රදේශ වලින් සිසු සිසුවියන් 134 දෙනෙකු එක්වූ අතර, ඒ අතරින් 12 දෙනෙකු අවසන් වටයට සුදුසුකම් ලබා තිබේ.

2021 ජාත්‍යන්තර සාක්ෂරතා දිනය වෙනුවෙන් ජෝන් කීල්ස් පදනම විසින් මෙම කථික තරගය සංවිධානය කරන ලදි. රටේ පවතින තත්ත්වය හමුවේ  පවා එම සිසු සිසුවියන් අවසන් තරගයේදී දැක්වූ දක්ෂතා, අභියෝගාත්මක අවස්ථාවන් හමුවේ ධනාත්මකව සිටීම, ඉගෙනීම දිගටම කරගෙන යාම සහ නව කුසලතා වර්ධනය කරගැනීම ආදියෙහි වැදගත්ම අවධාරණය කරමින්, ප්‍රේක්‍ෂකයින්ගේ සිත් ඇදගැනීමට සමත් විය.

නෙළුව ප්‍රදේශයේ පදිංචි ලසංගි අබේසිංහ මෙම කථික තරගයේ ජය හිමිකර ගැනීමට සමත්  වූවා ය. ‘COVID-19 කාලය තුළ මගේ අත්දැකීම්’ යන මාතෘකාව ඔස්සේ අදහස් දැක්වූ ඇය පැවසුවේ මාර්ගගත ක්‍රමයට ඉගෙනුම ලැබීම තමන් ලැබූ සුවිශේෂී අත්දැකීමක් බවයි. “මම ඊට පෙර මාර්ගගත පන්ති වලට සහභාගී වී තිබුණේ නැහැ. ඒ පන්ති ඉතා හොඳයි. මගේ ඉගෙනුම් කටයුතු හොඳින් කෙරුණා.” ඇය පැවසුවා ය.

“COVID-19 නිසා මුහුණ දීමට සිදුවී තිබෙන අභියෝග හමුවේ පවා මේ නව යොවුන් දරු දැරියන් පෙන්නුම් කළ භාෂා කුසලතා, නිර්මාණශීලීත්වය සහ ආත්ම විශ්වාසය ප්‍රශංසනීයයි.  ඒ වගේම මාර්ගගත තරගයක් තුළින් මෙම දක්ෂතා මතුවීම ගැන විශේෂයෙන්ම සතුටු වීමට පුළුවන්. අපගේ ‘නව යොවුන් දරුවන්ට ඉංග්‍රීසි’ ශිෂ්‍යත්ව වැඩසටහනට ඇතුළත් තොරතුරු හා සන්නිවේදන පුහුණුවෙන් ඔවුන් මැනැවින් ප්‍රයෝජන ලබා ඇති බව ඉන් තහවුරු වෙනවා.” අවසන් තරගයේ විනිශ්චය මණ්ඩලයද නියෝජනය කළ ජෝන් කීල්ස් පදනමේ මෙහෙයුම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවා ය.

මෙවර ජාත්‍යන්තර සාක්ෂරතා දිනයේ තේමාව වූයේ ‘මානව කේන්ද්‍රීය ප්‍රතිසාධනයකට සාක්ෂරතාව: ඩිජිටල් විභේදනය අවම කිරීම’ යන්නයි. මෙය භාෂාව හා ඩිජිටල් සාක්ෂරතාව ඔස්සේ තරුණ පරපුර සවිබල ගන්වමින්, විශේෂයෙන්ම අඩු පහසුකම්ලාභී තරුණ තරුණියන්ගේ අනාගතය යහපත් කිරීම සඳහා ජෝන් කීල්ස් පදනම දරන උත්සාහයටද සමගාමී වේ.

ජෝන් කීල්ස් පදනමේ ප්‍රධාන අවධානයක් යොමුවන ‘අධ්‍යාපනය’ පැතිමානය යටතේ 2004 වසරේ සිටම ගේට්වේ ලැන්ග්වේජ් සෙන්ටර් සමග එක්වී මෙම ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. මෙහි මූලික වැඩසටහන වන ‘නව යොවුන් දරුවන්ට ඉංග්‍රීසි’ වැඩසටහනේ අරමුණ වන්නේ, අනාගතයේ රැකියා අවස්ථා උදාකර ගැනීමට පිටිවහලක් වීමේ අරමුණින් පූර්ව-සාමාන්‍ය පෙළ දරුවන්ගේ ඩිජිටල් සාක්ෂරතාව සහ මෘදු කුසලතා වැඩිදියුණු කිරීම ය.

මෙම කථික තරගයේ තරගකරුවන් පෙන්නුම් කළ දක්ෂතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගේට්වේ සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා පැවසුවේ දරුවන්ගේ භාෂා නිපුණත්වය පැහැදිලිවම වැඩිදියුණු වී ඇති බවයි. අනාගතයේදී තවදුරටත් තම ඉංග්‍රීසි සන්නිවේදන හැකියාවන් දියුණු කරගැනීමට කටයුතු කරන මෙන් ඒ මහතා එම දරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය.

අධ්‍යාපනය යනු ජෝන් කීල්ස් පදනමේ (ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශය) මූලික අවධානය යොමු වී ඇති අංශ හය අතරින් එක් අංශයකි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති සමාගම් අතරින් විශාලතම සමාගම වන, වසර 150 කට අධික ඉතිහාසයක් ඇති ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධව ක්ෂේත‍්‍ර 7 ක් ආවරණය කරන සමාගම් 70 කට අධික සංඛ්‍යාවක් ක‍්‍රියාත්මක වේ. 

Visits: 29