සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගම සන්ෂයින් එනර්ජි (පෞද්) සමාගමේ තනි හිමිකරුවා වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි පරිපාලිත සමාගමක් වන සන්ෂයින් එනර්ජි (පෞද්) සමාගමෙහි 100%ක කොටස් හිමිකාරීත්වයම අත්පත් කරගැනීමට පසුගියදා සමත් වූ බව පවසයි.

මෙතෙක් කලක් සන්ෂයින් එනර්ජි (පෞද්) සමාගමෙහි කොටස් හිමිකාරීත්වයෙන් 70%ක ප්‍රතිශතයක් පමණක් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත හිමිව තිබූ අතර, ඉතිරි 30%ක ප්‍රතිශතය SBI Ven Holdings Pte.Ltd වෙත හිමිව තිබී ඇත.

ඒ අනුව එම එක් කොටසක් ආසන්න වශයෙන් රුපියල් 22.16ක් බැගින් මිලදී ගැනීමට සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගම පසුගිය සැප්තැම්බර් 06 වැනිදා කටයුතු යොදා තිබේ. මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 400ක් (400,000,000ක්) බවද සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගම පසුගිය සැප්තැම්බර් 09 වැනිදා පවසා තිබුණි.

මෙම මිලදී ගැනීමත් සමගින්ම සන්ෂයින් එනර්ජි (පෞද්) සමාගම සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි 100% හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත්වන බවත් එම සමාගම වැඩිදුරටත් පවසයි.

මෙහිදී සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගමෙහි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන යොෂිටාකේ කිටාඕ විසින් මෙම කොටස් අලෙවි කිරීම සිදු කර තිබේ. ඒ මහතා SBI Ven Holding Pte. Ltd සමාගම හිමි SBI Holdings Inc. හි නියෝජිත අධ්‍යක්ෂ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි. ඒ අනුව පසුගිය සැප්තැම්බර් 06 වැනිදා ඒ මහතා විසින් පිළිවෙලින් කොටස් 4,168,795ක්, 15,405ක්, 7,305ක්, 47,982ක්, 82,315ක්, 6,000ක්, 3,215ක් සහ 26,517ක් ලෙස මෙම කොටස් අලෙවි කිරීම සිදුව තිබේ.

කෙසේ වෙතත් මෙහිදී කොටසක් රුපියල් 25.50 අවම මිල සිට රුපියල් 26.20ක් යන උපරිම මිලක් අතර මෙම ගනුදෙනුව සිදුව ඇතැයි සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

Visits: 622