DFCC බැංකුවට එක්සත් රාජධානියේ Global Brands වෙතින් සම්මාන 2 ක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පසුගියදා 2021 Global Brands සම්මාන 2 කින් පිදුම් ලැබීමට සමත් වූ බව පවසයි. මෙම සම්මාන වැඩසටහන සංවිධානය කරන ලද්දේ එක්සත් රාජධානියේ Global Brands සඟරාව මගිනි.

මෙහිදී ‘බැංකු හා මූල්‍ය සේවා’ කාණ්ඩය යටතේ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සන්නාමය’ සහ ‘විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන ද්විත්වය හිමිකර ගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබිණි.

ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනංවන අතරම තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම දෙනාගේ යහපත උදාකර දීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ සාර්ථකත්වය, මෙම සම්මාන මගින් මැනැවින් පිළිබිඹු වේ. එමෙන්ම, 2015 වසරේදී ඒකාබද්ධ වීමෙන් අනතුරුව මෙම සම්මාන DFCC බැංකුව වෙත හිමිවූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, මෙම ජයග්‍රහණය බැංකුවේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

Global Brands සම්මාන යනු, විවිධ ක්ෂේත්‍ර වල සමාගම් හා ආයතන වල විශිෂ්ට ක්‍රියාකාරීත්වය ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්කිරීම සඳහා ආරම්භ කරන ලද වැඩසටහනකි. මූල්‍ය, අධ්‍යාපනය, සත්කාරක සේවා, ජීවන විලාසිතා, මෝටර් රථ සහ තාක්ෂණය යනාදී ක්ෂේත්‍ර රාශියක විශිෂ්ට ක්‍රියාකාරීත්වයන් පෙන්නුම් කරන සමාගම් හා ආයතන මෙම සම්මාන වැඩසටහන තුළදී ඇගයීමට ලක්වේ. එමෙන්ම ඉහළම ගුණාත්මක බවකින් යුත් පාරිභෝගික සේවාවක වැදගත්කම පෙන්වා දෙමින්,එබඳු සේවාවක් සලසන සමාගම් හා ආයතන වලට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීම මෙම සම්මාන උළෙලේ තවත් ඉලක්කයකි.

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා “විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහයට මෙය මනා සාක්ෂියක්. අප ලබාදෙන සම කළ නොහැකි පාරිභෝගික සේවාව මේ ආකාරයට ජාත්‍යන්තර ඇගයීමකටද ලක්වීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. පාරිභෝගිකයන්ට මුල්තැන දෙන, සහ ඩිජිටල් තාක්ෂණය පුළුල්ව භාවිතා කරන බැංකුවක් වශයෙන්, නිර්මාණශීලී, ප්‍රායෝගික සහ කාටත් විවෘත වූ ක්‍රියාවලි සහ පද්ධති භාවිතා කිරීමට අප කවදත් උත්සාහ කළා. එහිදී අප අත්කරගත් සාර්ථකත්වය මෙම සම්මාන මගින් මැනැවින් පැහැදිලි වනවා.” යනුවෙන් පවසා සිටියි.

Visits: 94