සියැට්, වාර්ෂික රේඩියල් ටයර් නිෂ්පාදනය 600,000 ක් දක්වා වැඩි කරයි

සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් මෝටර් රථ සහ වෑන් රථ රේඩියල් ටයර් නිෂ්පාදනය වර්ධනය කිරීමේ 2021 වැඩසටහනේ දෙවන අදියර යටතේ රේඩියල් ටයර් නිෂ්පාදනය වසරකට 84,000 කින් වැඩිකර ඇති බව නිවේදනය කරයි.

මෙම පුළුල් කිරීමත් සමග ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගමේ වාර්ෂික රේඩියල් ටයර් නිෂ්පාදනය 600,000 ක් දක්වා ඉහළ යන අතර එය වර්තමානයේ සමාගම විසින් නිෂ්පාදනය කරන රේඩියල් ටයර් 516,000 ක ප‍්‍රමාණයට සාපේක්ෂව 16% ක වර්ධනයකි. සමාගම සඳහන් කරන්නේ විදේශ විනිමය ඉතිරි කරගැනීම සඳහා රජය විසින් සමහර ටයර් ප‍්‍රමාණයන් ආනයනය කිරිම සඳහා පනවා තිබෙන ආනයන සීමා නිසා වෙළෙඳපොළේ අඩුවන ටයර් සැපයුම මගහරවා ගැනීමට මෙසේ නිෂ්පාදනය පුළුල් කිරීම විශාල සහයෝගයක් ලබාදෙන බවයි. 

කැළණියේ පිහිටි සියැට් කැළණි නිෂ්පාදන සංකීර්ණයේ නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමේ වැඩසටහන යටතේ මාර්තු මාසයේදී එහි නව ටයර් ප්‍රෙස් යන්ත‍්‍ර දෙකක් සහ පසුගියදා යළිත් තවත් ටයර් ප්‍රෙස් යන්ත‍්‍ර දෙකක් සහ ටයර් නිෂ්පාදනය කිරීමේ යන්ත‍්‍රයක් සවිකර නිෂ්පාදන කි‍්‍රයාවලියට යෙදවීම නිසා මෙම නිෂ්පාදන හැකියාව වර්ධනය වී තිබෙන බව සමාගම සඳහන් කරයි.

මේ අනුව, සමාගම සඳහන් කරන්නේ මාසික රේඩියල් ටයර් නිෂ්පාදනය 50,000 ක් දක්වා වර්ධනය වී තිබෙන බවත් එම ටයර ප‍්‍රධාන වශයෙන් Suzuki Alto, Maruti Suzuki Alto, Maruti Suzuki Omni, Tata Ace Ex2, Hyundai- Eon, Mitsubishi Minicab, Toyota HiAce, Nissan Vanette, Lanka Ashok Leyland Dost, Tata Winger, Nissan Urvan, Kia K2500, Suzuki- Super Carry, Maruti Suzuki, Super Carry, Piaggio Porter, Toyota Town Ace, Toyota Lite Ace, Suzuki Wagon R, Daihatsu Mira ES, Nissan Dayz, Nissan Note, Honda Freed සහ Toyota Avanza යන මෝටර් රථ සහ වෑන් රථ සඳහා ගැලපෙන බවයි.

සියැට් කැළණි සමාගම විසින් නිෂ්පාදනය කරන රේඩියල් ටයර් ප‍්‍රමාණය වර්ධනය වීමට අමතරව මෙම නව යන්ත‍්‍ර මගින් නිෂ්පාදනය කරන රේඩියල් ටයර්වල ප‍්‍රමිතිය මෙන්ම, හැසිරවීමේ පහසුව සහ බාහිර පෙනුම තවත් දියුණු කර තිබෙන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමේ මෙම නවතම වැඩසටහන පිළිබඳව සියැට් කැළණි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා මෙසේ අදහස් දැක්වීය. ‘වසංගතයට වසර ගණනාවකට පෙර සිටම ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් පමණම සැපයූවේ සියැට් සමාගම විසිනුයි. කොවිඞ් වසංගතය නිසා ලෝකය පුරා ඇතිවූ සංචරණ සීමා සහ සමහර ටයර් ප‍්‍රමාණයන්ට පැනවූ ආනයන සීමාවන් නිසා දේශීය ඉල්ලූම සපුරාලීමට අපට නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීමට සිදුවුණා. මේ නිසා, මේ වසරේ මාර්තු මාසයේ සිට අපගේ රේඩියල් ටයර් නිෂ්පාදනය 32% කින් පමණ අපි වර්ධනය කර තිබෙනවා. මෙය පවතින තත්ත්වයට සැලකිය යුතු ප‍්‍රතිචාරයක් ලෙසින් සඳහන් කළ හැකියි.’   

ආනයන සීමා කිරීම නිසා දේශීය වෙළෙඳපොළේ ට‍්‍රක්රථ, බස්රථ, ති‍්‍ර රෝද රථ, මෝටර් රථ සහ වෑන් ටයර් සඳහා ඇතිවූ අතිරික්ත ඉල්ලූම සපුරාලීම සඳහා සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය වසරේදී සිය කර්මාන්ත ශාලාවල නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කරන ලදී. පසුගිය වසරේ අගෝස්තු මාසය වනවිට දේශීය නිෂ්පාදනය තුළින් මගී බස්රථ සහ භාණ්ඩ ප‍්‍රවාහන අංශයේ ටයර් අවශ්‍යතාවය 100% සපුරාලීම සඳහා සමාගම සිය නිෂ්පාදනය වර්ධනය කළ අතර මේ තුළින් රුපියල් බිලියන 11 කට ආසන්න විදේශ විනිමයක් ආසන්න වශයෙන් රටට ඉතිරිකර දීමට සමත්විය.  

මීට අමතරව, 2020 ජුනි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මාස තුනක කාලය තුළදී සියැට් කැළණි විසින් සිය ‘යතුරු පැදි’ අංශයේ ටයර් නිෂ්පාදනය සියයට 85 කින් වර්ධනය කරමින් ජුනි මාසය වනවිට මාසයකට නිෂ්පාදනය කළ යතුරු පැදි සහ ස්කූටර් ටයර 27,000 ක ප‍්‍රමාණය ජූලි සහ අගෝස්තු මාසය වනවිට 41,000 ක් දක්වා වර්ධනය කල අතර සැප්තැම්බර් මාසයෙන් පසුව එය 50,000 ක් දක්වා වර්ධනය කරනු ඇත. මේ තුළින්ද රටට වසරකට රුපියල් මිලියන 350 ක විදේශ විනිමයක් ඉතුරුවන බව සමාගම සඳහන් කරයි. 

2021 බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වර්ගීකරණයේ ‘Motor’ කාණ්ඩය යටතේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාමය ලෙසින් සියැට් සන්නාමය තේරී පත්වූ අතර සන්නාම ශක්තිය අනුව සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන සන්නාම 05 අතරටද සියැට් ඇතුළත් විය. 

මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදන අංශයේ විශාලතම සමාගමයි. සමාගම මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 ක මුදලක් ආයෝජනය කර තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

Visits: 302