මැයි මාසයේ උද්ධමනය 6.1%ක් දක්වා ඉහළට

2021 මැයි මාසයේ මෙරට උද්ධමනය 6.1%ක අගයක් ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය අප්‍රේල් මාසයේදී එය 5.5%ක ප්‍රතිශතයක් ගෙන තිබුණි. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් මෙම කරුණු සඳහන් කර සිටියි.

මෙහිදී මැයි මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 4.7%ක දායකත්වයක් හා ආහාර නොවන කාණ්ඩයේ 1.4%ක දායකත්වයක් ලබා දී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මෙලෙස උද්ධමනය ඉහළයෑමට හේතු වී තිබේ.

මේ අතරින් ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ පැවැති 9.7%ට සාපේක්ෂව මැයි මාසයේදී 10.3%ක් දක්වා ඉහළ නැග ඇත.  එසේම ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අප්‍රේල් මාසයේ පැවැති 2.2% සිට මැයි මාසයේදී 2.5%ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙහිදී ආහාර කාණ්ඩයෙහි මිල ඉහළ යාම් අතරින් ප්‍රධාන වශයෙන් පොල්තෙල්, සහල් සහ නැවුම් මත්ස්‍ය මිල, පොල්, මයිසූර් පරිප්පු, අර්තාපල්, කරවල, මුං ඇට, ලොකුලූණු, රතුලූණු, එළවලු, සීනි සහ කහ කුඩු යන ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබී තිබේ.

එසේම ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය වැඩිවීම සඳහා නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, ගෘහ ඒකක නඩත්තු කටයුතු සහ සෞඛ්‍ය (වෛද්‍ය රසායනාගාර ගාස්තු, පෞද්ගලික රෝහල් කාමර ගාස්තු) යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල ඉහළ යාම ප්‍රධාන වශයෙන් බලපා ඇතැයිද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් මෙරට උද්ධමන අනුපාතය 4%ත් 6%ත් අගයක පවත්වා ගෙන යාම සිය අරමුණ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙර අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කර තිබුණි.

මේ අතර මෙම මාසයේදී සිදු වූ ඉන්ධන ඉහළ දැමීමත් සමගින්ම භාණ්ඩ හා සේවාවන් රැසක මිල ඉහළ යාමත් සමගින්ම ජුනි මාසය සඳහා වන උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

Visits: 156