ආයෝජකයන් අතර වටිනා කොටස් අලෙවිය සඳහා වූ පීඩනයක්

අද (ජූනි 21) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළදී වටිනා කොටස් අලෙවි කිරීමේ පීඩනයක් ආයෝජකයන් තුළ දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම ගනුදෙනු සඳහා අඩු කොටස් ප්‍රමාණයක් නිකුත් කර තිබෙන (Low float) සමාගම් වන NIFL හි කොටස් වටිනාකම් පිට පිට පස්වැනි දිනයටත් AMF කොටස් වටිනාකම් පිට පිට දෙවැනි දිනයටත් අනුමාන කිරීම් මත ඉහළ යාමේ අවස්ථාවන් වාර්තා විය. මේ අතරම රටෙහි පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්ද අයෝජකයන් තුළ තවදුරටත් අවදානය යොමුව තිබෙන බව ගනුදෙනු හරහා පිළිබිඹු වන බවද මෙම තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 7,715.46ත් ඒකක 7,757.09ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,726.73ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (ජූනි 18) දිනයට සාපේක්ෂව ඒකක 11.27ක් එනම් +0.15%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සහ ආලියාන්ස් ෆිනෑන්ස් පීඑල්සී හි සිදු වූ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 7.4%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 74ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 92ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+22.03), නෙස්ලේ ලංකා පීඑල්සී NEST (+9.86), කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+3.55), සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS (+3.43), ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී AMF (+2.78), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-4.86), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-3.67), බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.25), ඔල්ඕඑල්සී පීඑල්සී LOLC (-3.22), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-2.88) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,064.45ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (18දා) ‍ට සාපේක්ෂව ඒකක 18.93 ක එනම් -0.61%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.95ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (18දා) වාර්තා කළ රුපියල් බිලියන 2.33ට සාපේක්ෂව 16% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.42ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 15.57%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 410.65ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 399.54ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 11.1කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 26.09ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය නෙස්ලේ ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 99.55 කි. එසේම බුකිට් ඩරාහ් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 73.32ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 578ක් සඳහා ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 30%කි. එසේම විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 480ක සහ රුපියල් මිලියන 233ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 450