කාර්ගිල්ස් සිලෝන් ඉවතලන අපද්‍රව්‍ය යොදා මෙරට පළමු රථගාල සකසයි

කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගම ලංකාවේ පළමුවරට ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා ගනිමින් සිය සුපිරි වෙළෙඳ සැලක රථගාල සකස් කළ බව පවසයි.

ඒ අනුව මාතර, වල්ගම නගරයේ ඉදි කෙරුණු සිය නවතම කාර්ගිල්ස් සුපිරි වෙළෙඳ සැල වෙනුවෙන් මෙම පරිසර හිතකාමී හඳුන්වාදීම සඳහා සමාගම කටයුතු යොදා තිබේ.

මෙහිදී වර්ග මීටර් 2100ක් පමණ විශාලත්වයකින් යුත් රථ ගාල සඳහා කිලෝග්‍රෑම් 800ක් පමණ බරකින් යුත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා ගෙන තිබේ. එය ප්‍රමාණාත්මකව ප්ලාස්ටික් බෑග් 200,000ක ප්‍රමාණයක් බවත්, මෙවැනි ක්‍රමවේදයකට යොදා නොගත්තේ නම් එම බෑග් රටෙහි ජල පද්ධතිය වෙත එකතු වෙන බවත් කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සඳහන් කර සිටියි.

මෙම ක්‍රමවේදය ප්ලාස්ටික් මොඩිෆයිඩ් ඇස්ෆල්ට් කොන්ක්‍රීට් (PMAC) ලෙස හැඳින්වෙන අතර එය සාම්ප්‍රදායික ඇස්ෆල්ට්ස් ඇතුරුම් වෙනුවට යොදා ගන්නා පරිසර හිතකාමී හරිත විකල්පයක් ලෙස ප්‍රචලිතව ඇත. AGC Innovate සමාගම මේ සඳහා දායකත්වය ලබා දී ඇත.

විශේෂයෙන්ම රට තුළ ගැටලුවක් පවතින මෙම ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි අපද්‍රව්‍ය ගැටලුවට විසඳුමක් ලබා දෙමින් වඩාත් තිරසාර අනාගතයක් වෙත පියමැනීමේ අවස්ථාවක් ලෙස මෙම කටයුත්ත සිදු කළ බව සමාගම පවසයි.

සාමාන්‍යයෙන් දිනකට මෙරට තුළ ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7,000කට ආසන්න ප්‍රමාණයක් එකතු වීම සිදු වෙයි. ඒ අතරින් 6%ක ප්‍රතිශයක් ප්ලාස්ටික් සහ පොලිතින් කාණ්ඩය යටතට ගැනෙන බවත් කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 174