2024 මුල් කාර්තුවේදී විදේශ ප්‍රේෂණ ලැබීම් ඩො.බි. 1.5යි – සංචාරක ආදායම ඩො.බි. 1යි

මේ වසරේ පළමු කාර්තුවේදී (ජනවාරි 01 සිට මාර්තු 31) දක්වා කාලය තුළදී මෙරටට ගලා ආ විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රේෂණවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,536.1ක් බව වාර්තා වෙයි. එසේම එම කාලසීමාවේදී සංචාරක කර්මාන්තය හරහා මෙරටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 1,025.9ක් ලෙස සටහන්ව ඇත.

පසුගිය සති අන්තයේදී මහ බැංකුව මගින් නිකුත් කෙරුණු සතිපතා ආර්ථික විශ්ලේෂණ වාර්තුව තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ. ඒ අනුව පසුගිය මාර්තු මාසයේදී පමණක් මෙරටට හිමි වුණු විදේශ ශ්‍රමික ප්‍රේෂණ මුදල්වල වටිනාකම ඩොලර් මිලියන 572.4කි.

එසේම මේ වසරේ පළමු කාර්තුවේදී ලැබුණු විදේශ මුදල් ප්‍රේෂණවල වටිනාකම පෙර වසරේ එම කාලසීමාවේදී හිමි වුණු ඩොලර් මිලියන 1,413.2 හා සැසඳීමේදී 8.7%ක වර්ධනයකි.

මේ අතර වසරේ පළමු කාර්තුවේදී ලැබුණු සංචාරක ආදායම පෙර වසරේ එම කාලසීමාවේදීහිමි වුණු ඩොලර් මිලියන 503.9 හා සැසඳීමේදී 103.6%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 2024 මාර්තු මාසයේදී හිමි වූ සංචාරක ආදායම ඩොලර් මිලියන 338.4කි.

මෙම සංචාරක ආදායම හිමි කරගැනීම සඳහා වසරේ පළමු කාර්තුව තුළදී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 635,784ක් ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පවසයි. එය පෙර වසරේ එම කාලසීමාවේදී පැමැණි සංචාරකයන් සංඛ්‍යාව වන 335,679 හා සැසඳීමේදී 89.4% ඉහළ යාමකි.\

Visits: 0