අනතුරට පත් වූ ඩාලි නෞකාවෙන් රසායනික ද්‍රව්‍ය ගෙන ආවේ Ansell Lanka සමාගමලු

එක්සත් ජනපදයේ බැල්ටිමෝර් වරායෙන් පිටත්ව කොළඹ වරාය බලා පැමිණෙන අතරතුරදී පසුගිය මාර්තු 26 වැනිදා අනතුරට ලක් වු Dali බහාලුම් ප්‍රවාහන නෞකාවේ තිබූ අහිතකර රසායනික ද්‍රව්‍ය සහිත කන්ටේනරය මෙරටට ආනයනය කර ඇත්තේ මෙරට Ansell Lanka සමාගම බව වාර්තා වෙයි.

අද දිනයේදී පළ වුණු සන්ඩේ ටයිම්ස් පුවත්පත මගින් මේ පිළිබඳව අනාවරණය කර තිබේ. මෙම Ansell Lanka සමාගමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක සමාගමකි. එම සමාගමට අයත් බියගම අපනයන සැකසුම් කලාපයේ පිහිටි කර්මාන්තශාලාවේ සිදු කරන කාර්මික රබර් අත්වැසුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස මෙම රසායනික ද්‍රව්‍ය ආනයනය කර තිබෙන බව එම සමාගම පුවත්පත වෙත පවසා තිබේ.

සිංගප්පූරු සමාගමකට අයත් මෙම ඩාලි නෞකාව ලොව සුප්‍රසිද්ධ භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙහෙයුම් සිදු කරන Maersk සමාගම මගින් ක්‍රියාත්මක කරවූවකි. එය පසුගිය මාර්තු 26 වැනිදා බැල්ටිමෝර් වරායට ඔබ්බෙන් පිහිටි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි ගැටී අනතුරක් සිදු වූ අතර තවමත් එම නෞකාව එම වරායේ රඳවා තිබේ.

කොළඹ බලා පිටත් වූ මෙම නෞකාව සතු වූ බහාලුම් 4700ක් අතරින් අහිතකර රසායනික ද්‍රව්‍ය සහිත කන්ටේනර් 56ක් ඇති බවට අනාවරණය කෙරුණු අතර, ඒවා තුළ අහිතකර ද්‍රව්‍ය ටොන් 764ක් පවතින බව සඳහන්විය. එසේම මේ බහාලුම් තුළ ලිතියම් අයන් බැටරි තිබූ බවටත් අනාවරණය කෙරිණි. ඉන් බහාලුම් 14ක් පාලම කඩාවැටීමෙන් හානියට ලක් විය. එසේම මේ අතරින් එක් බහාලුමක් කොළඹ වරායට පැමිණි බවටත් හෙළිදරව් විය.

මේ සම්බන්ධයෙන් පුවත්පත වෙත අදහස් දක්වා ඇති Ansell Lanka සමාගමේ සාමාන්‍යාධිකාරී රමේෂ් නානායක්කාර මහතා, අනතුරට පත් වූ ඩාලි නෞකාවේ තිබූ කොළඹ වරාය වෙත පැමිණීමට නියමිත වූ බහාලුමේ අහිතකර ලෙස සඳහන්ව තිබූ රසායනික ද්‍රව්‍ය, සිය සාමාන්‍ය නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා බවක් පවසා තිබේ.

කෙසේ වෙතත් ආසන්න මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ නෞකාවේ තිබූ බව පැවසෙන අනෙකුත් අහිතකර අපද්‍රව්‍ය ආනයනය කෙරුවේ තම සමාගම නොවන බව ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ. විශේෂයෙන්ම Ansell Lanka සමාගම ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කරමින් මෙවැනි ආකාරයේ අපද්‍රව්‍ය ආනයනය කිරීමක් සිදු නොකරන බවත් ඔහු පුවත්පත වෙත අවධාරණය කර තිබේ.

එහිදී තමන් ආනයනය කරන්නේ ඇසුරුම්කළ අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය පමණක්බවත් ඔහු පවසා ඇත. ඒ අනුව මෙලෙස ආනයනය කෙරෙන රසායනික ද්‍රව්‍ය අතරින් ඇතැම් ඒවා අහතිකර සහ අහිතකර නොවන රසායනික ද්‍රව්‍ය ලෙස වර්ග කෙරෙන බවත් ඔහු මෙහිදී පවසා ඇත.

එසේම තම කාර්මික රබර් අත්වැසුම් නිෂ්පාදන සඳහා අවශ්‍ය මෙම රසායනික ද්‍රව්‍ය ආනයනය පසුගිය දශක දෙකක් පුරා සිදු කරමින් පවතින බවත්, එහිදී මෙම රසායනික ද්‍රව්‍ය නිපදවන එක්සත් ජනපදයෙන් ඒවා ආනයනය කෙරෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මෙම රසායනික ද්‍රව්‍ය ආනයනයේදී මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත්, තම නිෂ්පාදන සඳහා අවශ්‍ය අම්‍රද්‍රව්‍ය හෝ අනෙකුත් අනුමත දෑ ආනයනය සඳහා අනුමැතිය ලබා ගන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Visits: 0