First Capital Holdings වෙතින් රුපියල් 5 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන First Capital Holdings PLC සමාගම (CFVF.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

ඒ අනුව සමාගම මගින් මෙතෙක් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි ‍කොටසක් සඳහාම රුපියල් 5.00ක් බැගින් ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය එම සමාගම මගින් 2023/24 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මැයි 03 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභෘංශ රහිත දිනය (XD Date) දිනය ලෙස අප්‍රේල් 09 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීම සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී First Capital Holdings PLC කොටසක වටිනාකම රුපියල් 34.40ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ශත 50ක එනම් 1.47%ක ඉහළ යාමකි.

ඊයේ දිනයේදී පමණක් එම සමාගමෙහි කොටස් 777,268ක් ගනුදෙනු වී ඇති අතර, පිරිවැටුම රුපියල් මිලියන 26.5ක් ලෙස සටහන්ව තිබේ.

First Capital Holdings PLC සමාගම ජනශක්ති සමූහයට අයත් සමාගමකි. එහි කොටස් අතරින් 82.12%ක් හිමිව ඇත්තේ එම සමූහයට අයත් ජනශක්ති ලිමිටඩ්, ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී යන සමාගම් වෙතයි.

Visits: 0